කට පුරා හිනා වෙන්න – “හවුස්ෆුල්” දැන් දිවයින පුරා සිනමා හල්වල

Avatar Kavinu Weerakkody | June 2, 2025 594 Views 0 Likes 1 On 1 Rating

594 Views 1 On 1 Rating Rate it

පසුගිය මැයි 29 වනදා සිට ලාංකීය සිනමාවට එකතු වුනු අලුත්ම හාස්‍ය චිත්‍රපටය තමයි හවුස්ෆුල්…

ඵෙතිහාසික කතා පුවත් – බ්ලැක් කොමඩි – චරිතාපදාන – ක්‍රියාදාම සිනමාපටවලින් පිරුනු මෑතකාලයේ සිංහල සිනමාවට අලුතින්ම එක්වන, විනෝදයෙන් සහ සිනහවෙන් පිරුනු සිනමා නිර්මාණයක් විදිහට හවුස්ෆුල් (Housefull) හඳුන්වන්නට පුලුවන්.

මෑතකාලයේදී මෙරට සිටින වැඩිම නලු නිලියන් පිරිසක් රංගනයෙන් එක්වන කොමඩි චිත්‍රපටය වෙන්නේ ත්, පසුගියදා තිරගත වීම ඇරඹුණු මේ Housefull චිත්‍රපටයයි.

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි – ජීවන් කුමාරතුංග සමඟින් චුලක්ෂි රණතුංග මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එක්වනවා. විශේෂයෙන්ම, කලක් සිනමාවෙන් නිහඬව සිටි ජීවන් කුමාරතුංගව ඔබ මෑතකාලයේදී නොදුටු වෙනස්ම චරිතයකින් දැකබලා ගන්නට පුලුවන්.

චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටයට >>>>>>>>

සීතල කඳුකරයේ සුන්දර හෝටලයක් කරන ධනවංශ මුදලාලිට තිබෙන්නේ එකම එක ප්‍රශ්නයයි. ඒ ඔහුගේ හෝටලය ආසන්නයේ කුඩා කෑම කඩයක් කරන සුම්මා සහ ඔහුගේ මිතුරු කැලයි. ස්වභාවයෙන්ම ගැටුම් ඇති කරගන්නා චරිතයක් ඇති සුම්මා ධනවංශ මුදලාලි සමඟින් විවිධ කලබල ඇති කරගනී.

ධනවංශගේ දියණිය උසස් අධ්‍යාපනය නිම කර ලංකාවට එන්නේ ඒ අතරේදීයි. සුම්මා සහ ධනවංශ මුදලාලිගේ දියණිය අතරේ නොදැනීම හිතවතකමක් ගොඩ නැඟෙන්නේ ඉන් පසුවයි.

හවුස්ෆුල් චිත්‍රපටයට පාදක වන්නේ මේ කරදරයෙන් තම දියණිය බේරා ගන්නට උත්හාස දරන ධනවංශ මුදලාලි සහ ඔහුගේ දියණියට හිත ගිය සුම්මා අතර සිදුවීම් පෙළයි.

මිහිර සිරිතිලක, කුසුම් රේණු, දමිතා අබේරත්න, සුරංග සතරසිංහ, සමන් හේමරත්න, නිලන්ති ඩයස්, රයන් වෑන්රෝයන්, ඩී බී ගංගොඩතැන්න ඇතුලුව වර්තමාන සිනමාවේ සිටින තවත් හාස්‍යත්පාදක සහ ජනප්‍රිය නලු නිලියන් රැසක් Housefull චිත්‍රපටයට රංගනයෙන් එකතු වනවා.

හවුස්ෆුල් චිත්‍රපටයේ තිර රචනය සිදු කරමින් මෙය අධ්‍යක්ෂණය කළේ ශ්‍රී ලාල් ප්‍රියදේව යි. ජොලි හලෝ – අලි පැටියෝ ඔයයි මමයි – මගෝ ඩිගෝ ඩයි – අපේ යාලු පුංචි භූතයා – අප්පට සිරි ඇතුලු සිනමාපට 10කට අධික සංඛ්‍යාවක් ලාල් ප්‍රියදේව විසින් මීට පෙර අධ්‍යක්ෂණය කළා.

Housefull නිෂ්පාදනය සිදු කර තිබෙන්නේ තව්තිසා පික්චර්ස් වෙනුවෙන් මොහාන් පෙරේරා විසිනුයි. ගිහානි වීරසිංහ සහ සුනිල් ටී ප්‍රනාන්දු සම නිෂ්පාදනයෙන් සම්බන්ධ වුනා.

සහාය අධ්‍යක්ෂණය චමත් ඉපලවත්තයි. ටෙඩී විද්‍යාලංකාර සටන් අධ්‍යක්ෂණයෙන් සහ ඒෂණ ඉන්දීවර සංගීත අධ්‍යක්ෂණයෙන් එකතු වනවා.

දිවයින පුරා පිහිටි සිනමා හල් 60කට ආසන්න සංඛ්‍යාවකදී දැන් ඔබටත්, පවුලේ සැමටත් හවුස්ෆුල් නරඹන්නට පුලුවන්!

Share

594 Views 1 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.