කලකට පසු සිනමාහල් අසල යළි පෝලිම් – ගින්නෙන් උපන් සීතල රටපුරා
1977 නොවැම්බර් 24 වැනිදින රෝහණ විජේවීර ඇතුළු පිරිසක් මැගසින් බන්ධනාගාරයෙන් පිටතට පැමිණෙන්නේ සය වසරක සිර දඬුවම අවසන් කරමිනි. එතැන් සිට මේ පිරිස යළි ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙයි. 1982 වසරේ ප්‍රජාතන්ත්‍රවාදී පවාහයට එක්ව ජනාධිපතිවරණය සඳහා තරග වදින විජේවීර, චන්ද ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් ලබාගනියි. දිනෙන් දින ඔවුන් වටා ගොඩනැගෙන ජනබලය හමුවේ බියට පත්වන ආණ්ඩුව 1983 වාර්ගික ගැටුම් වලට ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධයක් ඇතැයි පවසමින් පක්ෂය තහනමට ලක් කරයි. පක්ෂ නායකයින් අත්අඩංගුවට ගනිමින් පක්ෂය මර්ධනය කිරීමේ මෙහෙයුම් දියත් වෙයි.
මේ සියල්ල හමුවේ විජේවීර සහ ජනතා විමුක්ති පෙරමුණේ යටිබිම්ගත දේශපාලන ව්‍යාපාරය සහ අරගලය ඇසුරින් නිර්මාණය කෙරුණු “ගින්නෙන් උපන් සීතල” නැතිනම් The Frozen Fire චිත්‍රපටය දැන් දිවයින පුරා රිද්ම සහ CEL මණ්ඩලයේ සිනමාහල් වල තිරගත වනවා. “කලකට පසුව සිනමාලෝලීන් නැවත සිනමාහල් වෙත ඇදෙන අයුරු දැකගත හැකිවීමසතුටට කරුණක්. දිවයින පුරා ලැබෙන තොරතුරු අනුව ඒ බව පෙනී යනවා. විශේෂයෙන් කොළඹ ඇතුළතත් ඉන් පිටපළාත් වලත්, සවස් කාලේ දර්ශන වාරවලට චිත්‍රපට ශාලා පිරිගිහින් තිබුනා. තවම චිත්‍රපටය තිරගත කරලා දවස් පහයි ගතවුනේ. කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල වගේ පළාත් වලත් සිනමාහල් අසල දිග පෝලිම් තිබෙන බව දැනගන්න ලැබෙනවා. ඒ ගැන අධ්‍යක්ෂවරයා විදිහට මට ලොකු සතුටක් තිබෙනවා. දේශපාලනික චරිතයක් වටා ගෙතුණු චිත්‍රපටයක් වීම වගේම මෑත ඉතිහාසයේ සිදුවුණු සිදුවීමක් වීමත් චිත්‍රපටය වඩාත් ජනතාව අතරට යන්න හේතු වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ” චිත්‍රපටය පිලිබඳ අදහස් දක්වමින් අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ සඳහන් කළා.
අනුරුද්ධ ජයසිංහ සිනමාවේ මෙන්ම ටෙලි මාධ්‍යයෙත් සම්මානනීය අධ්‍යක්ෂවරයෙක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ අනුරුද්ධ ජයසිංහ විසින්. චමත්කා පීරිස් නිෂ්පාදනයෙන් දායක වනවා. රෝහණ විජේවීර ලෙස ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන්නේ කමල් අද්දරආරච්චියි. සුලෝචනා වීරසිංහ චිත්‍රාංගනී විජේවීර ලෙස මෙහි රංගනයේ යෙදෙනවා. ජගත් මනුවර්ණ, ප්‍රියන්ත සිරිකුමාර, සුජීව ප්‍රියාල්, ජෙහාන් අප්පුහාමි, සුරාජ් මාපා, අංජන ප්‍රේමරත්න, දිල්හානි ඒකනායක, දීපානි සිල්වා, හන්සමාලා ජානකි, ප්‍රසන්නජිත් අබේසුරිය, හර්ෂ තෙන්නකෝන් ඇතුළු නළු නිළියන් රැසක් මෙහි අනිකුත් චරිත සඳහා රංගනයෙන් දායකත්වය සපයනවා.
ඔබ තවමත් ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය ඔබ තවමත් නැරඹුවේ නැත්නම්, ඔබට ලඟම ඔබේ සිනමාහලෙන් දැන් මේ චිත්‍රපටය නැරඹීමට අවස්ථාව තිබෙනවා.
Written by Nisanka Weheraduwa