තරුවක් නොවු තරුවක්….ලින්ටන් සේමගේ

Avatar Cinema.lk A | July 7, 2012 457 Views 0 Likes 0 Ratings

457 Views 0 Ratings Rate it

ලින්ටන් සිනමාවට ද එක් වන්නේ වේදිකාවේදී මෙන්ම පහළම අඩියෙනි. ටී. අර්ජුනගේ ‘සාරා’ ඔහු රඟපෑ මුල්ම චිත්‍රපටයයි. ඔහු එහි රඟපෑවේ වේටර්වරයකුගේ සුළු චරිතයකි. එහිදී ඔහුට කරන්නට සිදු වූයේ ජෝ අබේවික්‍රමට වතුර වීදුරුවක් ගෙන යෑමකි. ලින්ටන් මෙම චිත්‍රපටයේ ‘ටී බෝයි’ ලෙස ද (නළු නිළියන්ට තේ අල්ලන්නා) කටයුතු කර ඇත.ඊට ඉහත ලින්ටන් ‘මඩොල්දූව’, ‘ගැහැනු ළමයි’ වැනි චිත්‍රපටවල සම්මුඛ පරීක්ෂණවලට සහභාගි වුව ද එම චිත්‍රපටවලට ඔහු තෝරා නොගැනිණි.

ලින්ටන්ගේ රංගන හැකියාව මුලින්ම මතු වූයේ කෙටි චිත්‍රපට ඔස්සේය. විශේෂයෙන් පරාක්‍රම නිරිඇල්ලගේ ‘පළමුවැනියා සහ අන්තිමයා’ හා පී. යූ. ඩී. පෙරේරාගේ ‘සින්ඩරෙල්ලාගේ සෙරෙප්පුව’ යන කෙටි චිත්‍රපටවලින්ය.

‘සුද්දා’, ‘රැජින’, ‘අතුරු මිතුරු’ ‘පොඩි විජේ’, ‘සිරි මැදුර’, ‘සහරාවේ සිහිනය’, ‘ස්ත්‍රී’ ලින්ටන් අප්‍රධාන චරිත රඟපෑ චිත්‍රපට කීපයකි. එහෙත් ඒවායින් ඔහුට සුවිශද රංග කෞශල්‍යයක් විදහාපෑමට අවස්ථාවක් නොලැබිණි.

අයි. එන්. හේවාවසම්ගේ ‘මී හරකා’ ලින්ටන් විශිෂ්ට චරිතාංග නළුවකු බවට පත් කළ පළමු අවස්ථාව ලෙස සැලකිය හැකිය. ඔහු එහි කාම පොත්, සඟරා නිසා නොමඟ ගිය ගොපලු තරුණයකු ලෙස කළ රංගනය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ පවා ප්‍රශංසාව දිනා ගත්තේය. එසේම ‘සරසවිය’ සම්මාන උළෙලේ දී හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගැනීමට ද ඔහුට අවස්ථාව ලැබිණි.

එහි සුවිශේෂත්වයක් වූයේ ඒ වසරේදී ගාමිණී ෆොන්සේකා ප්‍රධාන චරිතය රඟපෑ ‘නොමියෙන මිනිසුන්’ චිත්‍රපටය ද ඊට තරගකාරීව ඉදිරිපත්ව තිබීමයි. ලින්ටන් හොඳම නළුවා වූයේ ගාමිණීගේ රංගනය ද අභිබවා යමිනි. එය නළුවකු ලෙස ලින්ටන් ලද අති විශිෂ්ටතම ජයග්‍රහණය වන්නේය.

මී හරකා’ හි ලින්ටන් මහත් කැපවීමකින් යුතුව රඟපෑවේය. චිත්‍රපටය රූපගත කිරීමට පෙර ඔහු නිකවැරටිය ප්‍රදේශයට ගොස් ගොපලු තරුණයන් පිළිබඳ කිසියම් අධ්‍යයනයක යෙදුණේය. එහිදී ඔහුට පෙනී ගියේ එම තරුණයන්ගේ දත් කහ පැහැ වී ඇති බවයි. ලින්ටන් ඒ අනුව තම දත් කහ ගන්වා ගත්තේය.

චිත්‍රපටයේ එක් තැනක ලින්ටන් මඩ වළක ලඟී. එය වඩාත් තාත්විකව ඉදිරිපත් කිරීම සඳහා ඔහු ‘ඇත්ත’ මඩවළක ලැග්ගේය. එහි විපාකය වූයේ මඩවළේ විසට ඔහුගේ නියපොතු හැලීමයි, නාස්පුඬු කුණුවීමයි. දින ගණනක් යනතුරු ඇඟේ මී හරක් ගඳ තැවරී තිබීමයි.

මී හරකා’ චිත්‍රපටයෙන් ලින්ටන් ප්‍රේක්ෂක අවධානය නොමඳව දිනා ගත්ත ද ඔහු ‘තරුවක්’ බවට පත් වුයේ නැතො

‘මී හරකා’ චිත්‍රපටයෙන් පසු ලින්ටන් විශිෂ්ට රඟපෑම් ඉදිරිපත් කළ චිත්‍රපට තුනක් වෙයි. ඒ ‘පාදඩයා’ (ධර්මෙ), ‘සුළං කිරිල්ලි’ (ශාන්ත බණ්ඩාර) හා ‘මගේ වම් අත’ (කමල්) ය. මෙයින් ‘සුළං කිරිල්ලි’ හැරුණු කොට සෙසු සිනමා පට දෙකම ලින්ටන්ගේම අධ්‍යක්ෂණයන් වීම විශේෂත්වයකි. ඔහු එහිදී සිනමාකරුවකු ලෙස ද වඩාත් කැපී පෙනිණි.

‘අයෝමා’, ‘යසෝමා’, ‘පුරහඳ කළුවර’ ලින්ටන් රඟපෑ තවත් චිත්‍රපට කීපයකි.

 

Share

457 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.