දුමින්දගේ “දිසිඳි පත්” නැවතත් ජාත්‍යන්තරයට යයි
අපට මුලින්ම හමුවන්නේ තරුණ අම්මා කෙනෙක්. ඇයට ඉන්නවා පුංචි පුතෙක්. බැලූ බැල්මටම පේන දෙයක් තමයි ඔවුන්ට එතරම්ම අතමිට සරු නැති බව. පොඩිඑකාගේ ඇඟපත දැක්කහම ඒ බව හොඳටම තේරුම් ගන්න පුළුවන්. පරිසරයත් එතරම් සශ්‍රික එකක් නෙවෙයි. දුෂ්කර පිටිසර ගමක්. බොහෝවිට වියළි කලාපයේ. ටික වෙලාවක් යද්දී අපට වැටහෙනවා මේ තරුණ අම්මාට තමන්ගේ ස්වාමියා අහිමිවෙලා බව. දැන් ඔවුන්ට තිබුන එකම ආදායම, යැපීම් මාර්ගය, රැකවරණ, මේ සියල්ල අහිමි වෙලා. අල්ලපු ගෙදර ඉන්න කාන්තාව දුකින් තැවෙමින් ඉන්නේ ඇයට දරුවන් නොමැතිකම නිසා. ඇය නන්දනී. නන්දනීගේ උනන්දුව මේ පොඩිඑකාව දරුකමට හදාගන්න ඉල්ලගන්න. නමුත් අර තරුණ මව ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ “තමුන්ගේ මිනිහ ගෙදර තියාගන්න බලපන්, එතකොට නැති ළමයිනුත් හැදෙයි” කියන ඇනුම් පදයකුත් එක්ක. මේ කතාවෙන් නන්දනී හොඳටම කිපෙනවා. මේ දෙගොල්ලම පාවිච්චි කරන්නේ එකම ලිඳක්. අන්තිමේ නන්දනී තමන් ලිඳට දාපු බොලොක්කයත්, බාල්දියත් ඇයට නොදී ඉන්න තීරණය කරනවා. අවසානයේ තමා වෙනුවෙනුත් දරුවා වෙනුවෙනුත්, කෑම වෙනුවෙන් වගේම වතුර වෙනුවෙනුත් අරගලයක් කරන්න ඇයට සිදුවෙනවා. අවසානයේ ඒ ළිඳටම පැනල දිවි නහගන්න ඇය තීරණය කරන්නේ “මම පණපිටින් ඉන්නකන් කොල්ලව කාටවත් දෙන්නේ නැහැ” කියන වචනය ඇය නන්දනීට පවසා තිබූ නිසා.
මේ කතාව අපි දකින්නේ දුමින්ද සංජීව නිර්මාණය කළ “දිසිඳි පත්” නැත්නම් (Withered leaf) චිත්‍රපටයේ. ලංකා බණ්ඩාරනායක, සම්පත් ජයවීර ඇතුළු පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වුනා. මීට පෙර විවිධ අවස්ථාවන් කිහිපයකදී දේශීයව මෙන්ම ජාත්‍යන්තරවත් මේ චිත්‍රපටය තරගත කෙරුනා. මෙවර 2018 දකුණු ආසියානු මොන්ට්‍රියෙල් සිනමා උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීමට සමත්ව තිබෙනවා. ඒ සමග දිසිඳි පත් සිනමාපටය ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කළ 11 වැනි වතාව මෙය බවට පත් වනවා. South asian film festival Montreal 2018 සිනමා උළෙලේ තරග වදින දිසිඳි පත් කණ්ඩායමට cinema.lk සුබපැතුම් එක්කරනවා.
Written by Nisanka Weheraduwa