දේවි කුසුමාසන දැන් තිරගත වේ – කන්ද උඩරට නව රාජ වංශයක උප්පත්තිය
ලක්ෂ 1500කට අධික පිරිවැයක් දරමින් නිෂ්පාදනය වූ, ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ, දේවි කුසුමාසන නවතම සිනමා නිර්මාණය දිවයින පුරා සිනමා හල්වලදී දැන් සාර්ථකව තිරගත වනවා.
දේවි කුසුමාසන නිර්මාණය කරන තිබෙන්නේ, 16වන සියවස අග භාගයේදී කෝට්ටේ පාලක සීතාවක රාජසිංහ රජුගේ කන්ද උඩරට ආක්‍රමණ හමුවේ සිය ජීවිතය බේරා ගැනීම පිණිස කන්ද උඩරටින් පෘතුග්‍රීසින් වෙත පලා යන කොනප්පු බණ්ඩාරගේ කතා පුවත ඇසුරෙනු යි.
පිය උරුමයෙන් තමන්ට ලැබිය යුතු සිහසුනත් – සිය රාජධානියත් අතහැර යමින් පෘතුග්‍රීසීන්ට එක්වන කොනප්පු බණ්ඩාර, දොන් ජුවන් ධර්මපාල නමින් බෞතිස්ම වී පෘතුග්‍රීසි හෙවණේ හැදී වැඩෙනවා. කලකට පසුව පෘතුගාලයෙන් ලංකාවට පැමිණෙන ඔහු පෘතුග්‍රීසි සේනාව හා එක්ව මෙරට මුහුදුබඩ ප්‍රදේශයේ ජීවිතය ගෙන ගියත්, සිය ලේ උරුමය වුනු කන්ද උඩරට සිහසුන අමතක කරන්නට සූදානමක් පෙන්වන්නේ ද නැහැ.
පෘතුග්‍රීසි සහායෙන් කන්ද උඩරට ආක්‍රමණය කොට, ඒ පෘතුග්‍රීසින්වම පන්නා දමා කොනප්පු බණ්ඩාරම උඩරට සිහසුනට පත්වන්නේ ඉන් අනතුරුවයි. ඒ කුසුමාසන දේවියගේ උපකාර ඇතිවයි.
චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටයට >>>>>
උඩරට රාජ්‍යත්වයට උරුමකම් කියූ කුසුමාසන දේවියගේ ආදරය, සහාය සහ රැකවරණයෙන් කොනප්පු බණ්ඩාර යළිත් උඩරට රාජ්‍යත්වයට පත්වන සත්‍ය කතා පුවත ඇසුරු කොටගෙන ලාංකීය සිනමාවට එකතු වන නවතම දැවැන්ත සිනමා අත්දැකීම දේවි කුසුමාසන යි…
චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වය වන කොනප්පු බණ්ඩාර සහ කුසුමාසන දේවියට රංගනයෙන් දායක වන්නේ මෙරට සිටින ජනප්‍රියම තාරකා යුගලක් වන හේමාල් රණසිංහ සහ උදාරි වර්ණකුලසූරියයි. ආදරණීය කතාවක් සහ ක්ෂීර සාගරය කැළඹිණ චිත්‍රපටවල ප්‍රධාන චරිත තුළිනුත් ඔවුන් දෙදෙනාම මීට පෙර රසිකයින්ට සමීප වුනා.
මීට අමතරව මහේන්ද්‍ර පෙරේරා, බුද්ධික ජයරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, මේඝ සූරියආරච්චි, දිනෙත් ද සිල්වා, රයන් වෑන්රෝයන්, වසන්ත කුමාරවිල, සනත් ගුණතිලක, ඩිස්නි රාජපක්ෂ, වසන්ත විට්ටච්චි ඇතුලු ජනකාන්ත නලු නිලියන් රැසක් දේවි කුසුමාසන චිත්‍රපටයෙන් ඔබට දැකගත හැකියි.
ජනමාධ්‍යවේදියෙක්, ගී පද රචකයෙක්, ඉතිහාස ගවේෂකයෙක්, කතුවරයෙක් මෙන්ම සිනමාකරුවෙකු ලෙසිනුත් මෙරට කලා ක්ෂේත්‍රයට පෙරළිකාර නිර්මාණ රැසක් දායාද කළ ජයන්ත චන්ද්‍රසිරිගේ හත්වන සිනමා අධ්‍යක්ෂණය මෙයයි. අග්නි දාහය – ගරිල්ලා මාකටින් – වෙද හාමිනේ – දඬුබස්නාමානය – මහරජ ගැමුණු – ඝරසර්ප වැනි සිනමාපට සහ ටෙලි නිර්මාණ රැසක් ඔහු මීට පෙර තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කළා.
දේවි කුසුමාසන චිත්‍රපටයේ තිර පිටපත සඳහාත් සුපුරුදු පරිදි කරුණු ගවේෂණය කරමින් කතාව සහ දෙබස් නිර්මාණය කර තිබෙන්නේ අධ්‍යක්ෂකවරයා විසින්මයි. රුවන් කොස්තා කැමරාකරණයෙන් සහ රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන් එක්ව තිබෙනවා.
සංගීත රටා නිර්මාණය දිනේෂ් සුබසිංහයි. ප්‍රියන්ත සමරකෝන් සහාය අධ්‍යක්ෂණයෙන් එක්වුනා. වසන්ත කුමාරවිල චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂකවරයායි. ධම්මික හේවාදුත්ත නිෂ්පාදන සැලසුම්කරණයෙන් සහ බුද්ධික විජේරත්න දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණයෙන් සම්බන්ධ වුනා.
දේවි කුසුමාසන නිෂ්පාදනය ජානකී විජේරත්න ප්‍රමුඛ Lyca Productions Lanka කණ්ඩායමයි.
Written by Kavinu Weerakkody