දේවි සම්බුලා – ද්විභාෂික චිත්‍රපටයක් ලෙසින් වැඩ අරඹයි.
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කරනු ලබන නවතම චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා කොළඹ Kingsbury හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. ලාකික සිනමාවේ ද්විභාෂිත චිත්‍රපටයක් නිපදවීම විරල අවස්ථාවක්. මෙය එවැනි විරල අවස්ථාවක් බව සඳහන්. සිංහල භාෂාවෙන් “දේවි සම්බුලා” යනුවෙනුත් ඉංග්‍රීසි භාෂාවෙන් “Sambula” යනුවෙනුත් නිර්මාණය වන මෙම සිනමාපටයේ සිංහල තිරපිටපත රචනා කර තිබෙන්නේත් ජැක්සන් ඇන්තනි විසින්මයි. මාලින්ද සෙනවිරත්න එහි ඉංග්‍රීසි පරිවර්තනය සිදුකොට තිබෙනවා.
නිෂ්පාදන කණ්ඩායම පවසන ආකාරයට මුලු චිත්‍රපටයම රංගන ශිල්පීන් තිදෙනෙකුට පමණක් සීමා වීමත් විශේෂත්වයක්. සොත්තිසේන කුමරු ලෙසින් රංගනයෙන් දායක වන පුබුදු චතුරංග, රාක්ෂ ධානව ලෙසින් එක්වන අකිල ධනුද්දර සහ සම්බුලා දේවී ලෙසින් රංගනයෙන් දායක වන උදාරි වර්ණකුලසූරිය හැරුණු කොට මෙහි වෙනත් උපප්‍රධාන චරිත කිසිවක් නොමැති බව පැවසෙනවා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගීත රචනා වලින් හැඩවන සම්බුලා සිනමාපටයට රොහාන් ඩි සිල්වා නිෂ්පාදනයෙන් එක්වනවා. මෙහි ඉංග්‍රීසි අනුවාදය අධීක්ෂණයට මෙරට ප්‍රවීණ වේදිකා නාට්‍යවේදියකු වන ජෙරොම් ද සිල්වා එක් වී තිබෙනවා.
සම්බුලා ජාතකය මුල් කර ගනිමින් නිර්මාණය වන මෙම චිත්‍රපටය ගැන රංගන ශිල්පී අකිල ධනුද්ධර පැවසුවේ මෙවන් අදහසක්…
“මේ චිත්‍රපටියේ මගේ චරිතය පෙර ආත්මයක කරපු අකුසලයක් නිසා රාක්ෂයෙක්ව ඉපදිලා, තමන්ගේ දේවත්වයට නැවත යන්න පුලුවන් වෙනවා කියන විශ්වාසයෙන් ආදරය හොයාගෙන යන යක්ෂයෙක්ගේ චරිතයක්..”
මෙහි එකම කාන්තා චරිතය රඟ දක්වන උදාරි වර්ණකුලසූරිය චිත්‍රපටය ගැන මෙවන් අදහසක් පළ කළා.
“සම්බුලා විදිහට මේ නිර්මාණයට මාව තෝරාගැනීම ගැන මම ජැක්සන්මෙ ඇන්තනි සර්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ මම එතුමාගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟදක්වන දෙවැනි අවස්තාව. සම්බුලා චිත්‍රපටය ලංකාවේ ලාංකීය සිනමාවටත්, ලංකාවෙන් ඔබ්බට ගියහම ජාත්‍යන්තරයෙදිත් කිරුළු පළදීවි කියලා මම විශ්වාස කරනවා”
මෙහි ත්‍රිමාණ සජීවීකරණ කටයුතු චත්‍ර වීරමන් විසින් සිදුකිරීමට නියමිතයි. චත්‍ර මීට පෙර අධ්‍යක්ෂණය කළ ආලෝකෝ උදපාදී සිනමාපටයෙදි පවා ත්‍රිමාණ සජීවිකරණ දර්ශන විශාල වශයෙන් භාවිතා කර තිබුණා. සම්බුලා චිත්‍රපටයට ඇතුළත් වන කාල දිවියා, රාජාලි පක්ෂියා සහ රාජ නාගයා ඇතුළු අනිකුත් ත්‍රිමාණ සජීවිකරණ ප්‍රයෝග චත්‍ර අතින් නිමවීමට නියමිතයි. චින්තක ලක්මාල් ජයකොඩි සංගීත අධ්‍යක්ෂණයෙන්ද, ධම්මික රත්නායක කැමරා අධ්‍යක්ෂණයෙන්ද එක්වන සම්බුලා සිනමාපට ද්විත්වයෙහි කලා අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරන්නේ ධම්මික හේවාදුන්නයි. වෙනුක යසශ්‍රි වික්‍රමාරච්චි ඇඳුම් නිර්මාණයෙන් චිත්‍රපටයට දායක වන අතරේ දිනුෂා රාජපතිරණ විධායක නිෂ්පාදනයෙන් එක් වී සිටිනවා. දේවි සම්බුලා CineMc Film ProductionLTD ඉදිරිපත් කිරීමක්.
Written by Nisanka Weheraduwa