බර්ෆී චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් රන්බීර්ට පාඩු
මීට දින කිහිපයකට පෙර තිරගත වීම ඇරඹුණු Barfi චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමඟ එහි ප්‍රධාන චරිතයකට පණ පොවන රන්බීර් කපූර්ට දුම් බීමේ පුරුද්ද අත්හැරීමට සිදුවී ඇති බව වාර්තා වේ. එසේ වීමට හේතුවී ඇත්තේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක අනුරාග් බාසු හා රන්බීර් අතර ඇතිවූ ඔට්ටුවක් නිසාවෙනි.
රූපගත කිරීම් අතරතුරේ දී මොවුන් දෙදෙනා චිත්‍රපටයේ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 70 ඉක්මවීම සම්බන්ධයෙන් ඔට්ටු දමා ඇත. කෙසේ වෙතත් චිත්‍රපටය තිරගත වී පළමු දින 6 තුලදීම කෝටි 75ක ආදායමක් ඉපැයීමට සමත්වීමත් සමඟ රන්බීර්ට දුම්බීම අත්හැරීමට සිදුව ඇත.
මෙම චිත්‍රපටයේ රන්බීර් කපූර් බිහිරි ගොළු පුද්ගලයෙකුගේ චරිතයකට පණ පොවන අතර ප්‍රියංකා චොප්රා මානසික රෝගයකින් පෙළෙන්නියකටත් ඉලීනා ඩි ක්‍රස් ධනවත් බෙන්ගාලි තරුණියක් හැටියටත් රඟපෑමේ යෙදේ. අඩුපාඩුකම් මැද්දේ ආදරය කරන දෙන්නෙක් ගැන කියවෙන බර්ෆී නිෂ්පාදනය සඳහා වියදම් වී ඇත්තේ ඉන්දියානු රුපියල් කෝටි 30 ක් පමණි.
කෙසේ වෙතත් මෙලෙස කෙතරම් කාලයක් දුම්බීමෙන් ඈත්ව සිටීමට රන්බීර්ට හැකියාව ලැබේ ද?
Written by Cinema.lk