මුළුතැන්ගෙයින් මැද සාලයට – juice හොඳම කෙටි චිත්‍රපටය වෙයි

Avatar Nisanka Weheraduwa | January 29, 2018 91 Views 0 Likes 0 Ratings

91 Views 0 Ratings Rate it

63 වැනි Film fare සම්මාන උළෙල පසුගියදා මුම්බායිහිදී පැවැත්වුනා. විවිධ කාණ්ඩ යටතේ සම්මාන රැසක් ප්‍රධානය කෙරුණු මෙම සිනමා උළෙලේදී කෙටි චිත්‍රපට අංශය සඳහා ඇගයීම් පිරිනැමීමද සිදු කෙරුනා. විශිෂ්ටතම කෙටි චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුනේ Neeraj Ghaywan අධ්‍යක්ෂණය කළ Juice කෙටි චිත්‍රපටයයි. Neeraj 2013 වර්ෂයේ සිට විවිධ සිනමා නිර්මාණ හරහා සිනමා ක්ෂේත්‍රයේ නම රැඳවු නිර්මාණ කරුවෙක්. 2013 වසරේ ඔහු නිර්මාණය කළ පළමු කෙටි චිත්‍රපටය The Epiphany නමින් නිෂ්පාදනය වුනා. ප්‍රේක්ෂක සහ විචාරක අවධානය දිනා ගැනීමට මේ කෙටි චිත්‍රපටයට හැකියාව ලැබුනා. 2015 වසරේ වෘතාන්ත චිත්‍රපට නිර්මාණ සඳහා යොමුවන neeraj, ඒ යටතේ Masaan චිත්‍රපටය නිර්මාණය කරනවා. ලොව පුරා ප්‍රේක්ෂක විචාරක අවධානය දිනා ගැනීමට මේ චිත්‍රපටය සමත් වනවා. 63 වැනි ඉන්දියා ජාතික සිනමා සම්මාන උළෙලේදී හොඳම නවක අධ්‍යක්ෂවරයාට හිමි ඉන්දිරා ගාන්ධි සම්මානය දිනා ගැනීමට ඔහුට හැකියාව ලැබෙන්නේ Masaan සිනමා නිර්මාණයේ විශිෂ්ටත්වය හේතුවෙන්. 2016 වසරේ සිය පළමු වෙළඳ ප්‍රචාරණ කෙටි චිත්‍රපටය British airways සඳහා නිර්මාණය කළ neeraj, 2017 වසරේ Juice නම් සිය නවතම කෙටි චිත්‍රපටය නිර්මාණය කරමින් යලි ප්‍රධාන ධාරාවේ සම්මාන ලාභියෙක් බවට පත් වනවා.

ඉන්දියාව පුරුෂ මුලික සමාජ ක්‍රමයක් පවතින රටක්. කාන්තාවන් පිරිමියා සමග සමව වෘත්තීන්හි දීම සහ අනිකුත් සියළු කටයුතු සිදු කළද තවමත් පුරුෂයා මුලිකත්වය ගෙන සලකන සමාජ ක්‍රමයක් ඉන්දියාව තුලත් ක්‍රියාත්මක වනවා. බොහෝවිට විනෝදය පිරිමියාට පමණක් අයිති දෙයක් ලෙස සැලකෙන අතරම පිරිමියාගේ විවේකය විනෝදය සඳහා කැපවී වෙහෙසවී වැඩ කිරීමට කාන්තාවට සිදු වනවා. neeraj සිය කෙටි චිත්‍රපටය හරහා සාකච්චා කිරීමට උත්සාහ දරා ඇත්තෙත් මේ සම්බන්ධයෙන්. Manju singh සහ Manish Chaudhary විවාහක අඹුසැමි යුවලක්. විවේකි දිනයක Manish Chaudharyගේ නිවසට ඔහුගේ කාර්යාලයීය මිතුරන් පිරිසක් පැමිණෙනවා. මැද සාලයේ සංග්‍රහ සියල්ල භුක්ති විඳිමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් පිලිබඳ සංවාදයේ නිරතවන ස්වාමිවරුන් උදෙසා කැපවී සියල්ල සැකසීමට මංජු ඇතුළු බිරින්දෑවරුන් ඉතා උණුසුම් ගෑස් සර සහිත මුළුතැන්ගෙයක අපහසුවෙන් වැඩ කටයුතු කරමින් සිටිනවා. සියල්ල දරාසිටීමේ අවසාන අදියර මංජු සියල්ල පසෙකලා සිතල බිම වීදුරුවක් රැගෙන ස්වාමිවරුන්ගේ සාකච්චා මේසයට සිසිලස සැපයු විදුලි පංකාව අසල හින්දගනිමෙන් ඇගේ විරෝධය වෙහෙස පීඩනය ආදී සියල්ල ඇය විසින් මුදා හැරෙනවා. කාන්තාව තවදුරටත් යන්ත්‍රයක් හෝ පාරිභෝගික භාණ්ඩයක් ලෙස සැලකීම සඳහා පවත්වන සමාජමය විරෝධය රුප මතින් අපුරුවට ප්‍රකාශ කිරීමට neeraj සමත්ව තිබෙනවා. සියලු ඉවුම් පිහුම් කටයුතු සිදු කිරීමත් ඒවා කෑමමේසයට සැපයීමත් ඒ අතරතුර දරුවන්ගේ බාධා කිරීම් කළමනාකරණය කිරීමත් බිරිඳ මත පටවා මැදසාලයට වී විවේකය භුක්ති විඳීමට ස්වාමිවරුන්ට ඇති අමානුෂික හැකියාව මංජු හරහා අභියෝගයට ලක් කිරීමක් මෙමගින් සිදු කෙරෙනවා. වචන හරහා විරෝධය පෑමකට වඩා රූපභාවිතයෙන් එය සිදු කිරීමට neeraj ගත උත්සාහය අති සාර්ථක බව විචාරක මතය වී තිබුනා. කෙසේ නමුත් neeraj සිය උත්සාහයට ලැබුණු ඇගයීම සමස්ත කාන්තා පරපුර වෙනුවෙන්ම සිය මාධ්‍ය මෙහෙයවීම සඳහා ලද ඇගයීමක් බවත් නිහතමානිව පවසා තිබුනා.

Share

91 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.