විසාකේසගේ “පාංශු” ජග්රන් සිනමා උළෙලට
විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ දෙවැනි වෘතාන්ත සිනමාපටය “පාංශු” ඉන්දියාවේ පැවැත්වෙන 10 වැනි ජග්රන් සිනමා උළෙලේ තිරගත කිරීම සඳහා තෝරාගෙන තිබෙනවා. මෙය පාංශු චිත්‍රපටයේ පළමු ඉන්දීය ප්‍රදර්ශනයද වනවා.
2019 ජූලි මස 18 වැනිදා රාත්‍රී 8.25ට නවදිල්ලි නුවර සිරිෆෝට් ශ්‍රවණාගාරයේ චිත්‍රපටය තිරගත කිරීමට නියමිතයි. ඉන්දියාවේ නගර 18ක් පුරා විවිධ ශාලාවන්හි චිත්‍රපට 400කට අධික සංඛ්‍යාවක් තිරගත කරමින් මේ සිනමා උළෙල පැවැත්වෙනවා. ජග්රන් සිනමා උළෙල නවදිල්ලි නගරයේ ජූලි මස 18 වැනිදා සිට 21 වැනිදා දක්වා තිරගත කෙරෙනවා.
88/89 වකවානුවේ අතුරුදහන් කරන ලද සිය පුතු වෙනුවෙන් යුක්තිය ඉල්ලා රාජ්‍යයට එරෙහිව අරගලයක නිරත වන බබානෝනා වටා මෙම කතාව දිගහැරෙනවා. සිනමාවෙන් මගහැරුණු, නොඑසේ නම්, හිතාමතා මගහරින ලද ඒ මහා මිනිස් සංහාරය සහ ඒ ආශ්‍රිත දේශපාලනික ක්‍රියාවලිය පිලිබඳ යම් තැනක සිට නිර්මාණයක් කිරීමට තමන්ට අවශ්‍ය වුනු බව චිත්‍රපටය පිලිබඳ අදහස් දක්වන අධ්‍යක්ෂ විසාකේස පවසා සිටියා. මේ චිත්‍රපටය ළඟදීම ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට විවෘත කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Written by Nisanka Weheraduwa
