සිනමාවට වසන්තය රැගෙන මෙවරත් දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන
ශ්‍රී ලාංකීය සිනමාවේ හෙට දවස වෙනුවෙන් මීට වසර හයකට ඉහතදී දෙරණ මාධ්‍ය ජාලය සිනමා සම්මාන උළෙලක් ආරම්භ කරනවා. වසරක් ඇතුළත තිරගත කෙරුණු සිනමාපට සියල්ල අතුරින් විශිෂ්ටයින් තෝරා ඔවුන් වෙත සම්මාන ප්‍රධානය කිරීම ආරම්භයේදී සිනමා උළෙල මගින් සිදුකෙරුනා. නමුත් පියවරෙන් පියවර ඉදිරියට යත්ම විශේෂාංග රැසක් එක් කරමින් නවමු ආකාරයකින් සිනමා සම්මාන උළෙල පැවැත්වීමට සංවිධායකයින් කටයුතු කළා.
2019 වසර දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේ හත්වැනි පියවර සටහන් කරන්නට සිදානම්. සුපුරුදු විශේෂාංග සියල්ලම මෙවරත් සම්මාන උළෙලට ඇතුළත් වනවා.
හෙට දවසේ සිනමාව (Cinema of tomorrow )
නවක සිනමා නිර්මාණකරුවන් දිරිගැන්වීම සඳහා දෙරණ සිනමා සම්මාන යටතට එක කෙරුණු මේ විශේෂාංගය සිනමාවේ හෙට දවස උදෙසාම පවත්වන්නක්. නවක සිනමා කරුවන්ගේ නිර්මාණ අතුරින් විශිෂ්ට නිර්මාණ කිහිපයක් තෝරාගෙන ඒ අතුරින් හොඳම චිත්‍රපටය (Best Picture) සහ මතු බලාපොරොත්තු තැබිය හැකි සිනමාකරුවා (Most promising director) යන සම්මාන ද්විත්වය පිරිනැමීම මෙහිදී සිදු වනවා. ඊට අමතරව තෝරාගත් විශිෂ්ට නිර්මාණ හයක් තිරගත කෙරෙන චිත්‍රපට උළෙලද සිනමා සම්මාන උළෙලට සමගාමීව පැවැත්වෙනවා.
හෙට දවසේ සිනමාව වෙනුවෙන් කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් ඇගයීම සඳහාත් දෙරණ සිනමා සම්මාන උළෙල මගින් කටයුතු යොදා තිබෙනවා. මේ දිනවල කෙටි චිත්‍රපට නිර්මාණ කරුවන්ගෙන් අයදුම්පත් කැඳවීම සිදු කෙරෙනවා. ලැබෙන කෙටි චිත්‍රපට ප්‍රවීණ ජූරියක අධීක්ෂණයෙන් අනතුරුව හොඳම කෙටි චිත්‍රපට නිර්මාණකරුවා සඳහාද සම්මාන ප්‍රධානය කිරීම සිදුකෙරෙනු ඇති.
පසුගිය වසරේ තිරගත වුනු මුළු චිත්‍රපට සංඛ්‍යාව 25ක්. මේ චිත්‍රපට 25 අතුරින් විශිෂ්ටයින් උදෙසා සම්මාන පිරිනැමීම සිදුකෙරෙනවා. ප්‍රවීණ දක්ෂ සුදුසුකම් ලත් ජූරියක් මගින් විනිශ්චය කටයුතු සිදු කෙරෙනවා.
ජනප්‍රිය සම්මාන
පෙර වතාවන්හි වගේම මෙවරත් ජනප්‍රිය කාණ්ඩයේ සම්මාන තෝරා ගැනීම සිදු වනවා. ජනප්‍රිය කාණ්ඩයේ සම්මාන සඳහා ප්‍රේක්ෂකයින් හට සිය මනාපය පලකිරීමට අවස්ථාව තිබෙනවා. ඒ සඳහා වන නිර්දේශිත නාමයන් සහ අදාළ අංක සමග මනාප ලබාදිය හැකි ආකාරය පිළිබඳවත් ඉදිරියේදී ඔබව දැනුවත් කිරීමට cinema.lk අපි, සුදානම්. දේශීය සිනමාවේ තවත් ස්වර්ණමය රාත්‍රියක් එළඹෙන ජූලි මාසයේ දෙරණ සිනමා සම්මාන උළෙල සමග උදාවනු ඇති.
හයවැනි පියවරේ මතකයෙන්
Written by Nisanka Weheraduwa