67 වැනි ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙල
සටහන : කලිනු වීරක්කොඩි
ඉන්දීය ජාතික සම්මාන උළෙල හැඳින්වෙන්නේ ඉන්දියානු සිනමා නිර්මාණ ඇගයීම වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධානතම සහ විශාලතම සම්මාන උළෙල ලෙසයි. වාර්ෂිකව පවත්වා ගෙන එනු ලැබූ මෙම සම්මාන උළෙල 2020 වසරේදී සුපුරුදු පරිදි පැවැත්වීමට නොහැකි වූයේ කෝවිඩ් වසංගත තත්වය නිසායි. එම හේතුව නිසා 67වන ජාතික සම්මාන උළෙල කල් දැමීමට සිදු වුණත් අද දින, එහි ජයග්‍රාහකයින් නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවා. මෙසේ අද නව දිල්ලියේදී මාධ්‍යයට නිකුත් කළේ 2019 වසරට අදාළ ඉන්දීය චිත්‍රපට අතුරින් විවිධ අංශ ඔස්සේ ජයග්‍රහණය ලැබූ ජයග්‍රාහක සිනමාපට ලැයිස්තුවයි.
මෙවර 67වන ඉන්දීය සිනමා උළෙලේදී වසරේ හොඳම චිත්‍රපටය ලෙසින් පිදුම් ලැබූයේ Marakkar: Arabikadalinte Simham මලයාලම් චිත්‍රපටයයි. ඉන්දීය ජාතික සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටියට අදාළ සම්මානය දිනූ 12වන මලයාලම් සිනමාපටය ලෙසට වාර්තා පොත් අලුත් කළ Marakkar සිනමාපටය කෝටි 100ක පමණ දැවැන්ත නිෂ්පාදන පිරිවැයකින් නිපදවුණු සිනමාපටයක්. මෙහි ප්‍රධාන චරිතය රඟදක්වන්නේ දකුණු ඉන්දියානු සුපිරි නළු මෝහන්ලාල් විසිනි.
හොඳම නලුවාට හිමි Best Actor සම්මානය, උතුරු ඉන්දීය නළු මනෝජ් බජ්පායි සහ දකුණු ඉන්දීය නළු ධනුෂ් වශයෙන් සම ජයග්‍රාහකයින් දෙදෙනෙකු අතරේ බෙදී ගියා. මනෝජ් බාජ්පායි Bhonsle චිත්‍රපටය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වන විට ධනුෂ් සම්මානයට හිමිකම් කියූවේ Asuran චිත්‍රපටය වෙනුවෙනුයි. කන්ගනා රනවුත් විසින් මෙවර හොඳම නිළිය ලෙස ජාතික සම්මානයට පාත්‍ර වුණා. 2019 වසරේදී ඇය රඟපෑ Manikarnika සහ Panga චිත්‍රපට ද්විත්වය තුළින් ජය ලැබූ ඇගේ National Awards සංඛ්‍යාවද මේත් සමඟ 04ක් දක්වා ඉහළ ගියා. නමුත් ඇයට මෙම සම්මානය හිමි වීම පිළිබඳ බොහෝ දෙනා දක්වන්නේ අසතුටුදායක ප්‍රතිචාරයක්.
දමිළ නලු විජේ සේතුපති Super Deluxe චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම සහය නලුවාට හිමි ජාතික සම්මානය දිනා ගනිද්දිද හොඳම සහය නිළිය බවට පත් වූයේ The Tashkent Files හින්දි සිනමාපටයේ රඟපෑ Pallavi Joshiයි.
මෙවර හොඳම සටන් අධ්‍යක්ෂණයට හිමිකම් කියනු ලැබූයේ කන්නඩ සිනමාපටයක්. ඒ අනුව Best Action Direction සම්මානය ලැබූයේ Avane Srimannarayana සිනමාපටයේ සටන් අධ්‍යක්ෂක Vikram Mor විසිනි. තෙළෙඟු නළු මහේෂ් බාබු රඟ පෑ මහර්ෂි සිනමාපටයට හොඳම නර්තන නිර්මාණය උදෙසා සම්මාන හිමි වුණා. මීට අමතරව හොඳම දෘශ්‍ය ප්‍රයෝග සඳහා පිදෙන Best Special Effects සම්මානය සහ හොඳම ඇඳුම් නිර්මාණය සඳහා පිදෙන Best Costume Design සම්මානය ලබා ගත්තේද මෙවර හොඳම සිනමාපටය බවට පත් වුණු Marakkar මලයාලම් චිත්‍රපටයයි.
KD දමිළ සිනමාපටයේ රඟපෑ නාගා විශාල් හොඳම ළමා නලුවා බවට තේරී පත් වුණා. Best Debut Film for a Director කැටගරිය ජය ගත්තේ Helan මලයාලම් සිනමාපටයේ අධ්‍යක්ෂක Mathukutty Xavier.
මෙවර බොහෝ දෙනාගේ විවේචනයට බඳුන් වූ ජයග්‍රහණයක් වූයේ හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි ඉන්දීය ජාතික සම්මානයයි. එය ජයග්‍රහණය කළේ තලා අජිත් රඟපෑ Vishvasam දමිළ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් D. Imman විසිනුයි. නමුත් බොහෝ දෙනා දැනටමත් මෙය විවේචනය කරන්නේ විශ්වාසම් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ජාතික සම්මානයක් ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි.
ඊට අමතරව ලබා ගත් ජයග්‍රහණ ලැයිස්තුව පහත පරිදි දැක්විය හැක.
Best Production Design: Anandi Gopal (Marathi), Sunil Nigwekar and Nilesh Wagh
Best Audiography (Location Sound Recordist): Iewduh (Khasi), Debajit Gayan
Best Audiography (Re-recordist of final mixed track): Oththa Seruppu Size 7 (Tamil), Resul Pookutty
Best Screenplay (Original): Jyeshthoputro (Bengali), Kaushik Ganguly
Best Screenplay (Adapted): Gumnaami (Bengali), Srijit Mukherji
Best Screenplay (Dialogue Writer): The Tashkent Files (Hindi), Vivek Ranjan Agnihotri
Best Cinematography: Jallikattu (Malayalam), Gireesh Gangadharan
Best Editing: Jersey (Telugu), Navin Nooli
Best Children’s Film: Kastoori (Hindi)
Best Film on Environment Conservation: Water Burial (Monpa)
Best Film on Social Issues: Anandi Gopal (Marathi)
Best Film on National Integration: Tajmahal (Marathi)
Best Popular Film Providing Wholesome Entertainment: Maharishi (Telugu)
Best Female Playback Singer: Savani Ravindra for Bardo (Marathi)
Best Male Playback Singer: B Praak for Kesari (Hindi)
මෙම සම්මාන ලැයිස්තුවට අමතරව එක් එක් ප්‍රාන්තීය සිනමාවන් වෙනුවෙන්ද ජයග්‍රාහකයින් දැනුම් දුන්නා. ඒ අනුව ඉන්දීය ජාතික සිනමා උළෙල සෑම ප්‍රාන්තීය සිනමාවක් වෙනුවෙන්ම හොඳම චිත්‍රපටය බැගින් තෝරා ගනු ලැබීම දැකගත හැකියි.
මෙවර හොඳම හින්දි චිත්‍රපටය බවට පත් වුණේ සුශාන්ත් සින්ග් රාජ්පුත් රඟ පෑ Chhichhore චිත්‍රපටයයි. පසුගිය වසරේදී සිය දිවි නසාගත් සුශාන්ත්ගේ සිනමා දිවියේ හොඳම නිර්මාණය ලෙස බොහෝ දෙනා හඳුන්වන්නේ ද මෙම Chhichhore චිත්‍රපටයයි.
හොඳම තෙළෙඟු සිනමාපටය වූයේ නානිගේ Jersey වන අතර, Kalla Nottam සිනමාපටය හොඳම මලයාලම් සිනමාපටය බවට පත් වුණා. හොඳම නලුවා ලෙස සම්මානයට පත් වූ ධනුෂ්ගේ Asuran චිත්‍රපටය හොඳම දමිළ චිත්‍රපටය ලෙසත්, මරාති සිනමා කර්මාන්තය තුළ මෑතකාලීනව කතාබහක් ඇති කළ Bardo චිත්‍රපටය හොඳම මරාති චිත්‍රපටය ලෙසත් ජයග්‍රහණය කළා.
Best Kannada Film: Akshi
Best Bengali Film: Gumnaami
Best Assamese Film: Ronuwa – Who Never Surrender
Best Paniya Film: Kenjira
Best Mishing Film: Anu Ruwad
Best Khasi Film: Iewduh
Best Chattisgarhi Film: Bhulan the Maze
Biriyani මලයාලම් සිනමාපටයත්, Jonaki Porua ඇසෑම් චිත්‍රපටයත්, Lata Bhagwan Kare සහ Picasso යන මරාති සිනමාපට ද්විත්වයත් ජූරියේ විශේෂ ඇගයුමට ලක් වුණා.
මේ අනුව බලන විට, මෙවර 67වන ජාතික සම්මාන උළෙලේ ජයග්‍රාහකයින් අතුරින් අතිබහුතරයක් දකුණු ඉන්දීය සිනමාපට වීමත් විශේෂත්වයක්. සාම්ප්‍රදායිකව ඉන්දීය සිනමාවේ මුහුණත ලෙස බොලිවුඩය හැඳින්වුවත් මේ වන විට ප්‍රධාන ශානරයේ බොලිවුඩ් සිනමාවට දැඩි ලෙස අභියෝග කරන නිර්මාණ රාශියක්ම දකුණු ඉන්දියාවෙන් වාර්ෂිකව බිහි වනවා. මෙම ඉන්දීය ජාතික සම්මාන උළෙලේ ජයග්‍රාහක ලැයිස්තුවත් එයට හොඳම නිදසුනක්.
Written by Nisanka Weheraduwa