Exclusive: ජයන්ත චන්ද්‍රසිරිගේ සිනමා විශ්වයක් එනවද? යක්ෂයකු තුළ සිටින සන්තාපයේ මිනිසාගේ කතාවයි මේ!

Avatar Kavinu Weerakkody | January 14, 2026 33 Views 0 Likes 4 On 1 Rating

33 Views 4 On 1 Rating Rate it

ඔබේ නවතම සිනමාපටය, “රිටිගල ජයසේන සහ සැඟවුනු නගරය” ගැන මේ වනවිටත් සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති වෙලා. මොකක්ද මේ අලුත්ම නිර්මාණය?

රිටිගල ජයසේන කියන්නේ ඉතිහාසය විසින් ප්‍රයෝජනයට ගත් චරිතයක් වගේම ඉතිහාසය විසින් සඟවනු ලැබූ චරිතයක්ද වෙනවා. අපේ සම්භාව්‍ය සාහිත්‍යයේ ඔහු පිළිබඳව දැක්වෙන කතන්දරත්, අපේ ජනවේදයේ එහෙමත් නැත්නම් ජනශ්‍රැතියේ ඔහු පිළිබඳව දැක්වෙන කතන්දරත් බොහෝ විට එකිනෙකට පටහැනියි. හැබැයි ඔහු මරණය නමැති පර්යන්තයෙන් ඉවත් වී ‘මහ සොහොන්’ නමැති බලවත් යක්ෂ ආත්මයක් වීම පිළිබඳ අවසාන සිදුවීම කොයි කතාවෙත් එකයි.

නමුත් මේ කිසිම කතාවකින් නොකියවෙන සන්තාපයේ මිනිසකු (vir dolorum /man of sorrows) මේ තුළින් මා හඳුනා ගන්නවා. යක්ෂයෙකුට වඩා යක්ෂයකු තුළ සිටින මේ සන්තාපයේ මිනිසා ඔබට මේ චිත්‍රපටයෙන් පෙනෙයි!

නමුත් අපට හුරුපුරුදු “රිටිගල ජයසේන” පුරාවෘත්තයෙන් යම්දුරකට වෙනස් කතාවක් තමයි චිත්‍රපටයේ පෙනෙන්නට තිබෙන්නේ? ඔබ ඊට ඔබේම ප්‍රබන්ධයකුත් එකතු කරලා?

ඔව්! මා ප්‍රකාශයට පත් කරන්නේ නව ස්වතන්ත්‍රයක්! නව ස්වතන්ත්‍රයක ස්වභාවය තමයි පැරණි ස්වතන්ත්‍රයේ තිබුණු විසුරුණු භාවය ෆෝකස් එකකට ගෙන ඒම. ඒක සමහරවිට දෘෂ්ටිවාදාත්මක වැඩක් වෙන්නත් පුළුවන්. කොහොම වුනත් මෙහිදී පැරණි සාරය හඹා යෑමක් සිදුවෙනවා කියන එක පැහැදිලියි. ඒ වගේම ඒ වෙනුවෙන් නිර්මාණාත්මක වූත්, සෞන්දර්යාත්මක වූත් නව ආඛ්‍යාන ව්‍යුහයක් නිපදවා ගැනීමත් මෙහිදී සිදුවෙනවා. හරියට The matrix චිත්‍රපටයේදී තිර රචක – අධ්‍යක්ෂ Wachowskis කළා වගේ…

ඔබම ඇතැම් තැන්වල කියා තිබෙනවා, “ඔබ කාලයක් විශාල හේතුවාදියෙක්… භෞතිකවාදියෙක් වෙලා හිටියා කියලා. නමුත් ඔබ කලා ජීවිතයේ වැඩිපුර අතපත ගාන්නෙම අධියතාර්ථවාදී ප්‍රවේශයක නේද?

පාසල් යන කාලයේ ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් මහතාගේ පොත් කියවීමෙන් මා උග්‍ර හේතුවාදියකු වුණා. මේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා අරක්කු බීලා ගිනි පාගපු කාලය. මේ කාලයේ මමත්, මගේ මිත්‍රයෙකුත් හොල්මන්වලට අභියෝග කරමින් හොල්මන් ගෙවල් හොයමින් ගියා.

මා හිතන්නේ හේතුවාදය තමයි මා ඉක්මනින්ම භෞතිකවාදියකු බවට පත්කරන්නේ. භෞතිකවාදය තමයි මා ඉක්මනින්ම මාක්ස්වාදියෙකු එහෙමත් නැත්නම් ට්‍රොට්ස්කිවාදියෙකු බවට පත්කරන්නේ. ඓතිහාසික භෞතිකවාදය පිළිබඳව සුළු හෝ දැනුමක් මට ලැබුණා නම් එය මට ඉගැන්වූ කීර්ති බාලසූරිය, විජය ඩයස්, බන්දුල නානායක්කාර, සුචරිත ගම්ලත් වැනි විද්වතුන්ට අදත් මගේ ගෞරවය හිමිවෙනවා.

නමුත් මගේ සිතිවිලි විශ්වය විසින් නගන ප්‍රශ්නවලට මාක්ස්වාදයෙන්වත්, හේතුවාදයෙන්වත් පිළිතුරු නැතැයි මට පසු කලෙක හැඟී ගියා. ඊට වඩා පිළිතුරු මට බුදුදහම තුළ තිබෙන බව වැටහුණා. එය කොතරම් ගැඹුරු දහමක් ද, කොතරම් නිදහස් චින්තනයක් ද යන්න අද මම වඩ වඩාත් වටහා ගනිමින් සිටිනවා. එය මිනිස් මනසට හෝ මිනිස් සිතීමට සීමාවන් පනවන්නේ නැහැ.

මා මේ දීර්ඝ කරුණු පැහැදිලියි කිරීම කළේ මා කිසිසේත් භෞතිකවාදියකු නොවන බව කියන්නයි. මා අතිශයින් නිදහස්ව සිතන්නෙක්. අතිශයින් නිදහස්ව පරිකල්පනය කරන්නෙක්. සත්තකින්ම මා අධියථාර්ථවාදයටවත් කොටු වූ කෙනෙක් නොවේ.

ඒක මට එක ටූල් එකක් විතරයි! අනෙක් අතට භෞතිකවාදීව වශයෙන් හරි අධිභෞතිකවාදීව වශයෙන් හරි ඉරි ගසා ගැනීම අද නූතන සාහිත්‍යය තුළවත් නූතන සිනමාව තුළවත් එතරම් වැදගත් දේ විදිහට සලකන්නේ නැහැ. තවත් විදිහකින් බලනකොට විද්‍යාව පවා අද ද්‍රව්‍යයෙන් බැහැර දේ ගැන පර්යේෂණ පවත්වනවා. භෞතිකවේදීය සහ මනෝවේදීය සංසිද්ධීන් අතර සබඳතා හදාරන මනෝභෞතවේදය (Psychophysiology) වගේ විෂයයන් බිහිවීමෙන් පෙනෙන්නේ ඒ කාරණාවයි.

ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ 1980 දශකයේදී වේදිකාවෙන්, නව මාධ්‍යයට ගොඩවුනු නිර්මාණකරුවෙක්. එතැන් සිට මේ දක්වා ඔබේ නිර්මාණ පරම්පරා ගණනාවක් නරඹනවා.

අද තරුණ සිනමා රසිකයින්ව, ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණ වෙත රඳවා ගන්නේ කොහොමද? ඔවුන්ව ආමන්ත්‍රණය කරන්නේ කොහොමද?

අදට පමණක් නෙවෙයි. හැම කාලයකම කලා විෂයෙහි මා කටයුතු කළේ යම්කිසි බුද්ධිමය සත්ගුණයකින් කියලයි මට හිතෙන්නේ. එය ඉවෙන් වගේ වටහා ගත් ප්‍රේක්ෂකයන් මට හැම කාලයකම සිටියා. විනෝදාස්වාදන කර්මාන්තය හරි, සංවේදන වෙළඳපොල හරි, හැම කාලයකම මා ගැන දැන සිටියා. ඒවා සමග මා ගනුදෙනු කළා.

හැබැයි කිසිම විටකවත් මම ඒවාට යටත් වුණේ නැහැ. මා හැමවිටම උත්සාහ කළේ මිනිසුන්ගේ භාවමය ජීවිතය තුළට රසභාවයන් හරහා ප්‍රඥාව ගෙන ඒමටයි. හැම පරම්පරාවක්ම එහිදී මා පිළිගත් බවයි මගේ විශ්වාසය!

ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණ ආඛ්‍යානය ලංකාවේ පාරම්පරික ශාස්ත්‍ර එක්ක හැමදාමත් බැඳී පැවතුණා. දඬුබස්නාමානයෙන් අංගම්පොර ශාස්ත්‍රය… වෙද හාමිනේ කතා මාලාවෙන් හෙළ ආයුර්වේදය…

රිටිගල ජයසේන පුරාවෘත්තයෙන් උත්සාහ දරන්නේ යළිත් ඒ නිර්මාණ ශෛලියට පණ දීම ද?

මේවා සියල්ලම මගේ නිර්මාණවල ප්‍රධාන ආඛ්‍යානය හා බැඳුණු උපආඛ්‍යාන බව මට පෙනෙනවා. මේ උපආඛ්‍යාන මගේ උපවිඥාන මනස සමඟ බැඳුණු චින්තන ප්‍රවාහයක් බව මට හොඳටම සහතිකයි. මා නිතරම කියන කතාවක් තමයි මම මගේ දෙපා මේ පොළොවේ බොහොම තිරසාර ලෙස තබාගෙනම අභ්‍යවකාශයට යන්න කැමති කෙනෙක් බව.

ඉතින් ඔබ කියනවා වගේ මගේ සංවේදනයන් ලෝකයට ප්‍රකාශ කරන්න මට හැම විටම සංස්කෘතික භූමිදර්ශකයක් තිබුණා තමා. රිටිගල ජයසේන සහ සැඟවුණු නගරයත් එහි නිසැක ප්‍රතිඵලයක් තමා.

දේවී කුසුමාසන, රිටිගල ජයසේන, සමහරු සහ සමාගම. ඔබේ නවතම චිත්‍රපට තුනේම ප්‍රධාන චරිතය ලැබෙන්නේ හේමාල් රණසිංහට. මේ සුසංයෝගය ගැනත් කතා කළොත්?

මට මෑත කාලයේ මුණගැසුණු නළුවන් අතර ඔහු ඉතා විශේෂ නළුවෙක්. ඔහු ඉතාම චිත්තවේගික පරිණතියක් (Emotional Maturity) සහිත නළුවෙක් වගේම අතිශය අභ්‍යන්තර සංගත භාවයක් (Internal Consistency) සහිත නළුවෙක්. ප්‍රධාන භූමිකා නිරූපණය කරන වෙනත් දක්ෂ නළුවන් අතර මා ඔහුගේ දකින ප්‍රධාන වෙනස්කම එයයි.

දේවි කුසුමාසන වගේ master narrative එකක එන කොනප්පු බණ්ඩාර වගේ චරිතයකටත්, රිටිගල ජයසේන සහ සැඟවුණු නගරය වගේ නූතන පුරාවෘත්තයකටත් මා ඔහු එකවර යොදා ගන්නේ ඒ නිසයි.

සමහරු සහ සමාගම කියන මගේ නවතම චිත්‍රපටයේ ඔහු රඟපාන්නේ විසල් කියන නූතන තරුණයකුගේ සංකීර්ණ චරිතයක්… ඒ ඇත්තටම මේ චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතය. මගේ අදහස් සිනමා අවකාශයේ ලියන්නට ඔහු විශිෂ්ට සහ කදිම උපකරණයක් කියලයි මට හිතෙන්නේ.

ජයන්ත චන්ද්‍රසිරිටම වෙන් වූ සිනමා විශ්වයක් ගැනත් රසිකයින් ඉල්ලීම් කරනවා. ඇත්තටම ඔබ නිර්මාණය කළ මේ චරිත සියල්ලම එකතුවන දැවැන්ත සිනමා විශ්වයක් ගැන ඔබේ අදහස කුමක්ද?

දැනටමත් එබඳු විශ්වයක් පිළිබඳව මට ආරාධනා ලැබී තිබෙනවා.
මම දැන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නේ.

සම්මුඛ සාකච්ඡාව සහ ලිපි සැකැස්ම :- කවිනු වීරක්කොඩි

රිටිගල ජයසේන සහ සැඟවුනු නගරය චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය නැරඹීමට මෙතනින් පිවිසෙන්න >>>>>

Share

33 Views 4 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.