My Red Comrade – වෙනස් සිනමාවක් සොයන ප්‍රේක්ෂකාගාරයට
වසර විස්සකට ආසන්න නිහැඬියාවකින් පසුව සුදත් මහදිවුල්වැව යළිත් සිනමාවට පිවිසෙන්නේ My Red Comrade (රතු අතු අග) වෘතාන්ත සිනමාපටය සමඟයි. පසුගිය මැයි 17 වනදා සිට තිරගත වීම ඇරඹුනු My Red Comrade මේ වනවිට දිවයින පුරා තෝරාගත් සිනමා ශාලා රැසක සාර්ථකව ප්‍රදර්ශනය වනවා.
වෙනස් සිනමාවක් සොයන අපේ කාලයේ සිනමා ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් සුදත් මහදිවුල්වැව විසින් නිර්මාණය කළ මෙම සිනමාපටය, මෑතකාලයේදී තිරගත වුනු සෙසු ලාංකීය චිත්‍රපටවලට සාපේක්ෂව අතිශය වෙනස් සහ නැවුම් තේමාවක් ගත් සිනමා නිර්මාණයක්.
My Red Comrade චිත්‍රපටයේ තවත් විශේෂත්වයක් වන්නේ මෙම මුලු සිනමාපටයම එකම දර්ශන තලයකට සීමා වීමයි. My Red Comrade මුලු චිත්‍රපටයම රූගත කොට තිබෙන්නේ සරසවි චිත්‍රාගාරයෙ හි ඉදිකළ හුදෙකලා නිවසක පසුතලයක් තුළයි. දින 4ක් වැනි සීමිත කාලයක් ඇතුළත සියලුම දර්ශන රූපගත කොට අවසන් කිරීමටත් ඔවුන්ට හැකි වී තිබෙනවා.
එකම සමාජයීය අරමුණක් උදෙසා කටයුතු කරන, එකිනෙකට වෙනස් පරම්පරා දෙකක ගැටුම තම නිර්මාණය ඔස්සේ සිනමාත්මකව ඉදිරිපත් කිරීමට සුදත් මහදිවුල්වැව අධ්‍යක්ෂකවරයා මෙතුළින් උත්සාහ ගෙන තිබෙනවා. පහත සබැඳිය ඔස්සේ ඔබට මෙහි පූර්ව ප්‍රචාරක පටය නැරඹිය හැකියි.
පැය දෙකකට ආසන්න කාලයක My Red Comrade චිත්‍රපටය පුරාවටම ඔබට දක්නට ලැබෙන්නේ චරිත දෙකක් අතරෙ හි දෝලනය වන කතාවකුයි. එක් මැදියම් රැයක, තමන් පසුපස හඹා එන ඝාතකයින් පිරිසකගෙන් දිවි බේරා ගැනීමට දිව යන තරුණ යුවතියක සහ, පාලු නිවසක් තුළ ඇයට මුණ ගැසෙන වියපත් පුවත්පත් කලාවේදියෙකු අතර සිදුවන කතාබහයි My Red Comrade සිනමාපටයට පාදක වන්නේ…
ඔව්, මේක ආදර කතාවක්,
ආදරය ගැන වෙනස් නිර්වචන තියෙන මිනිස්සුන්ට…
ඔව්, මේක ක්‍රියාදාම චිත්‍රපටයක්,
හැබැයි ඔබ අහිංසක පුරවැසියෙක් නම් පමණක්…
ඔව්, මේක දේශපාලන කතාවක්,
ඔබට කිසිකලෙක මඟහැර යන්න බැරි…
ඔව්, මේක ලස්සන චිත්‍රපටයක්,
ඔබ ඇවිත් ඔබේ ඇස් දෙකෙන්ම විඳගත යුතු…
My Red Comrade චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ තරින්දි ප්‍රනාන්දු සමඟින් ආසිරි ඇල්ලගේ යි. පුංචි තිරයේ නිර්මාණ රැසකින් රසිකයින්ට සමීප වුනු තරින්දි ප්‍රනාන්දු ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් – ද ගේම් වැනි සිනමාපටවලටත් මීට පෙර රංගන දායකත්වය ලබාදුන්නා.
මෙහි අධ්‍යක්ෂකවරයා වන සුදත් මහදිවුල්වැව දශක ගණනාවක් මෙරට සහ විදෙස් විශ්ව විද්‍යාල රැසක සිනමාව පිළිබඳ දේශකවරයෙකු ලෙසින් කටයුතු කළ අයෙක්. ධවල රාත්‍රිය – වනස්පති – දණ්ඩේ ලූ ගිනි වැනි ටෙලි නිර්මාණ සහ වාර්තා චිත්‍රපට තුළින් ඔහු අවස්ථා රැසකදී සම්මානයට පාත්‍ර වුනා. 2004දී තිරගත වුනු ‘සුදු කලු සහ අලු’ ඔහුගේ පළමු වෘතාන්ත – සිනමා නිර්මාණයයි.
සුදත් මහදිවුල්වැවට අනුව 1970 – 1980 කාලය කේන්ද්‍ර කර ගනිමින් මෙරට නිර්මාණය වුනු ගැඹුරුතම සිනමා පර්යේෂ්ණය වන්නේ ද My Red Comrade චිත්‍රපටයයි.
My Red Comrade සිනමාපටයෙ හි කැමරාකරණය රුවන් කොස්තා විසිනි. අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපත රචනා කළේ ද සුදත් මහදිවුල්වැවයි. අජිත් රාමනායක සංස්කරණයෙන් සහ සශික රුවන් මාරසිංහ ශබ්ද සැලසුම්කරණයෙන් එක්වී තිබෙනවා. මෙහි සංගීත අධ්‍යක්ෂණය නදීක ගුරුගේ විසිනි. මංජුල අයගම කලා අධ්‍යක්ෂකවරයායි.
දිනේෂ් ලක්දුසිංහ සහාය අධ්‍යක්ෂණයෙන් – ධර්ශි ගමගේ රේඛීය නිෂ්පාදනයෙන් සහ සමරසිරි කඳනගේ අංග රචනයෙන් සම්බන්ධ වුනා. මෙහි වර්ණ සංයෝජනය තිස්ස සුරෙන්ද්‍ර විසිනි.
මයි රෙඩ් කොම්රෙඩ්, Red Circle Productions කුළුදුල් නිෂ්පාදනයයි.
Written by Kavinu Weerakkody