සිංහල සිනමාවට පිපුනු ‘සිහින නෙළුම් මල්’ – හේමාල් සහ දුශේනි ප්‍රධාන රංගනයෙන්

Avatar Kavinu Weerakkody | August 28, 2024 243 Views 0 Likes 5 On 1 Rating

243 Views 5 On 1 Rating Rate it

මේ දිනවල තිරගත වන සිංහල සිනමාපට ගොන්නට අලුතෙන්ම එකතු වුනු නිර්මාණය තමයි, සිහින නෙළුම් මල්…

පසුගිය අගොස්තු 23 වනදා සිට ප්‍රදර්ශනය ඇරඹුණු සිහින නෙළුම් මල් (Dream Lotus) චිත්‍රපටය මේ වනවිට දිවයින පුරා සිනමා හල් 60කට ආසන්න ප්‍රමාණයකදී සාර්ථකව තිරගත වනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එකතු වන්නේ වර්තමාන ලාංකීය සිනමාව තුළ සිය ජනප්‍රියත්වය උපරිමයෙන් තහවුරු කරගෙන සිටින, හේමාල් රණසිංහ සහ දුශේනි සිල්වා යි. මෙය හේමාල් සහ දුශේනි සිනමා තිරය මත මුණ ගැසෙන පළමු අවස්ථාව ද වනවා.

සිහින නෙළුම් මල් චිත්‍රපටයේ කතාව දිවෙන්නේ කාලයක් පුරාවට දරුවන් නොමැතිව සිටින, තරුණ යුවලක් වටායි.

සහන් සහ නයෝමි කොළඹ නගරයේ මහල් නිවාස සංකීර්ණයක කුලී නිවසක ජීවත් වන තරුණ යුවලක්. ආදර සම්බන්ධතාවයක් මත සිය කැමැත්තෙන් විවාහ ගිවිසගත් මොවුන් දෙදෙනා, වසර 06ක් පුරාවට ඉතා ආදරයෙන් සහ අවබෝධයෙන් ජීවත් වනවා. ඔවුන්ගේ සිතට වද දෙන එකම ප්‍රශ්නය තවමත් දරුවෙකු නොමැතිවීම පමණයි. එය සහන්ගේ මෙන්ම නයෝමිගේ සිතටත් දැඩි මානසික පීඩනයක් ඇති කරවන ගැටලුවක්.

හදිසියේම නිවසට ගොඩවන වැඩිහිටි නෑයෙකු දරුවෙකු ගැන අසන ප්‍රශ්න හමුවේ, ඉන් පලායාමට නයෝමි දෙන පිළිතුරක් දුරදිග යෑමෙන්, අවසානයේදී ඔවුන් දෙදෙනාට කෙසේ හෝ දරුවෙකු සෑදීමට සිදුවනවා. මේ උභතෝකෝටික ගැටලුව මඟ හරවා ගැනීමට සහන් සහ නයෝමි දරන උත්සාහයයි, සිහින නෙළුම් මල් චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ…

සිහින නෙළුම් මල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මෝටර් බයිසිකල් ඔබ වෙත ගෙනා ශමීර නාඔටුන්න විසිනි. දෙස් – විදෙස් සම්මානයෙන් පිදුම් ලැබූ මෝටර් බයිසිකල් චිත්‍රපටයට පසුව ශමීර නාඔටුන්න අධ්‍යක්ෂණය කරන දෙවන සිනමාපටය වන්නේ මෙයයි.

චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය පහතින් >>>>>>>>>>>>

 

හේමාල් රණසිංහ සහ දුශේනි ද සිල්වාට අමතරව කළණ ගුණසේකර, උමාලි තිලකරත්න, වීණා ජයකොඩි, ප්‍රියන්ත සෙනෙවිරත්න, ශ්‍රියානි අමරසේන, ලාල් කුලරත්න වැනි තවත් ජනප්‍රිය නලු නිලියන් රැසක් මෙහි රංගනයෙන් එක්වනවා.

සිහින නෙළුම් මල් තිර පිටපත ලියා තිබෙන්නේ ද අධ්‍යක්ෂක ශමීර නාඔටුන්නයි. Sinali Media වෙනුවෙන් වරුණ අරඹගේ නිෂ්පාදනය කරන පළමු සිනමා නිර්මාණය මෙයයි.

විශ්වජිත් කරුණාරත්න විසින් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සිදු කර තිබෙන අතර සංස්කරණය රවීන්ද්‍ර ගුරුගේ විසිනි. ධම්මික හේවාදුවත්ත කලා අධ්‍යක්ෂණයෙන් සහ මාධවී දසනායක ඇඳුම් නිර්මාණයෙන් එක්ව තිබෙනවා. බුවනෙක රණවක වේෂ නිරූපණ ශිල්පියායි. රොනිත් අධිකාරී මෙහි නිෂ්පාදන කළමනාකරු වන අතර සහාය අධ්‍යක්ෂණය ධමින්ද මඩවලගෙනි.

පසුබිම් ශබ්ද සැලසුම්කරණය අරුණ ප්‍රියන්ත කලුආරච්චි විසිනි. තිස්ස සුරෙන්ද්‍ර සමඟින් අසංක වික්‍රමසිරි සහ ලහිරු මධුසංක එකතුවෙන් වර්ණ සංයෝජන සහ සංස්කරණ කටයුතු අවසන් කොට තිබෙනවා.

මිලන්ද තෙන්නකෝන්ගේ නාද රටාවන්ගෙන් හැඩවුනු සිහින නෙළුම් මල් චිත්‍රපටයේ පසුබිම් ගායනයට එක්වන්නේ අමිල පෙරේරා, ශශිකා නිසන්සලා, මිහිඳු ආරියරත්න සමඟින් අශ්කා කුලතුංග යි.

PVR, Regal, Lite Cinemas ඇතුලු දිවයින පුරා සිනමා හල් රැසකදී ඔබට දැන් මේ අපූරු නිර්මාණය නැරඹීමට හැකියාව තිබෙනවා..!!

Share

243 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.