‘ක්‍රෝද’ පූර්ව ප්‍රචාරක පටය එළිදකී

Avatar Kavinu Weerakkody | October 24, 2023 202 Views 1 Like 5 On 4 Ratings

202 Views 5 On 4 Ratings Rate it

කලින් කලට, නවක අධ්‍යක්ෂකවරුන්ගේ විවිධ කතා තේමා ඔස්සේ නිර්මාණය වූ නැවුම් සහ ගුණාත්මක සිනමාපට ලාංකීය සිනමාවට එකතු වනවා. පසුගිය කාලය පුරාවටත් එලෙස තම පළමු චිත්‍රපටයෙන්ම මෙරට රසිකයින්ගේ අවධානය දිනා ගන්නට අධ්‍යක්ෂකවරුන් බොහෝ දෙනෙකුට හැකියාව ලැබුනා.

“රංකොල්ලා” සිනමාපටය හරහා අධ්‍යක්ෂණයට පිවිසි සුමිත් රත්නායක, සිය පළමු නිර්මාණයෙන්ම මෙරට රසිකයින් අතරෙ හි නමක් දිනාගත් එවැනි නිර්මාණකරුවෙක්. චානක පෙරේරා “ගජමෑන් 3D” නැමැති සිය පළමු චිත්‍රපටයෙන්ම ලංකාව පුරා ජනප්‍රිය වුනා. වාසව බදුගේ අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය වූ “ආදරණීය ප්‍රාර්ථනා” බොක්ස්-ඔෆිස් වාර්තා තබමින් තිරගත වුනා.

පසුගිය කාලයේදී තිරගත වූ දඩඉම – විසංගමනය වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ ද මෙරට සිනමාවට නවක අධ්‍යක්ෂකරුවන් කිහිප දෙනෙකු විසින්. නමුත් මෙරට රසිකයින් විසින් ඒ නිර්මාණකරුවන්ගේ ‘ප්‍රවීණත්වය’ යන කාරණය ගැන අවධානයක් යොමු නොකොට චිත්‍රපටයේ ගුණාත්මකබාවය මත පදනම්ව, ඒවා හොඳින් වැළඳගත්තා.

ඉදිරියේදී තිරගත වීමට නියමිතව තිබෙන “ ක්‍රෝද (Krodha) ” නැමැති වෘතාන්ත චිත්‍රපටය හරහාත් ලාංකීය සිනමාවට එවැනි නවතම අධ්‍යක්ෂකවරයෙකු එකතු වීමට නියමිතයි. මෙරට ජනප්‍රිය නලු නිලියන් රැසක් රංගනයෙන් සම්බන්ධ වූ ක්‍රෝද චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ගෝතම මනම්පේරි විසිනුයි. මෙය ඔහුගේ පළමු සහ කුළුදුල් චිත්‍රපට අධ්‍යක්ෂණයයි.

ක්‍රෝද චිත්‍රපටය දිවෙන්නේ එක්තරා ගමක ජීවත්වන සාමාන්‍ය තරුණයෙකු වටායි. සිය පියා සහ නැඟණිය සමඟින් කිසිවෙකුට හිරිහැරයක් නොකර ජීවත් වන ඔහු, තමන්ගේ නැඟණියට දක්වන්නේ අසීමාන්තික ආදර – සෙනෙහසක්… දිගු කාලයක පටන් ප්‍රේම සබඳතාවයක් තිබුනත් ඔහුට ස්ථාවර රැකියාවක් නොමැති වීම නිසා ඒ ප්‍රේම සබඳතාවයටත් විවිධ බාධා එල්ල වනවා.

අසීරුවෙන්, මෙම ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටි එම තරුණයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිට හැරෙන්නේ එක්තරා දිනක සවස් කාලයේදී ඔහුගේ නැඟණිය එකවරම අතුරුදහන් වීමත් සමඟයි. කිසිවෙකුත් නොදැන එකවරම අතුරුදහන් වන තම නැඟණිය සොයා යන එම තරුණයාට මුහුණ දෙන්නට සිදුවන අනපේක්ෂිත සිදුවීම් මාලාව, එතැන් සිට “ක්‍රෝද” සිනමා නිර්මාණයෙන් දිග හැරෙනවා.

මේ වනවිට චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයකුත් අන්තර්ජාලයට නිකුත් කර තිබෙන අතර පහත සබැඳිය ඔස්සේ ඔබට එය නැරඹිය හැකියි.

ක්‍රෝද (Krodha) සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ මෙරට තරුණ පරපුරේ දක්ෂ නලුවෙකු වන දසුන් පතිරණයි. මෝටර් බයිසිකල් සහ සයපෙති කුසුම චිත්‍රපට ද්විත්වය තුළින් මෙරට සිනමා ප්‍රේක්ෂකයින්ට සමීප වූ ඔහු නිනෝ ලයිව් – මාතා – සහෝ – හුස්ම ආදී චිත්‍රපටවලත් පෙරළිකාර චරිත නිරූපණය කළා.
නුදුරේදීම තිරගත වීමට නියමිතව තිබෙන මාරියා සහ සීරුවෙන් යන චිත්‍රපට ද්විත්වයෙනුත් ඔහුව දැකගත හැකියි.

ක්‍රෝද (Krodha) සිනමාපටයේ පියාගේ චරිතයට රඟපාන්නේ මෙරට සිටින තවත් ජනප්‍රිය සහ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන කුමාර තිරිමාදුරයි. දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ මෙරට සිනමාවට – වේදිකාවට – රූපවාහිනියට සක්‍රීයව සම්බන්ධ වී සිටින රංගන ශිල්පියෙකු වන කුමාර තිරිමාදුර වර්තමාන කලා ක්ෂේත්‍රය තුළ දක්නට ලැබෙන දක්ෂම චරිතාංග නලුවෙකු ලෙසත් අවිවාදයෙන්ම හඳුන්වන්නට පුලුවන්. 1998 වසරේ තිරගත වූ ජුලියට්ගේ භූමිකාව ඔහු රඟපෑ පළමු සිනමාපටයයි.

එතැන් පටන් සොඳුරු දඩබිම – නිකිණි වැස්ස – ගාමණී – රෝස කැලේ – බෝම්බ සහ රෝස – තණ්හා රතී රඟා – ධර්ම යුද්ධය – කවුරුවත් දන්නේ නෑ – ද නිවුස්පේපර් – හිතුමතේ ජීවිතේ ආදී ලාංකීය චිත්‍රපට 50කට අධීක සංඛ්‍යාවකට ඔහු රංගනයෙන් දායක වුනා. දසුන් පතිරණ සහ කුමාර තිරිමාදුරට අමතරව ගීතිකා රාජපක්ෂ, උදය කුමාරි, සුගත් ජානක, නිශාන් සම්පත්, මංජුල සේනානායක සමඟින් සඳමාලි තෙන්නකෝන් විසින් ක්‍රෝද චිත්‍රපටයේ සෙසු චරිත නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණයට අමතරව මෙහි තිර පිටපත් රචනය සහ සංස්කරණ කටයුතු සිදු කර තිබෙන්නේ ද ගෝතම මනම්පේරි විසින්මයි. ආර් සංජීව චිත්‍රපටයේ නිෂ්පාදකවරයායි. ජනිත් ගුණසේකර සහ චානක සේනාධීර මෙහි කැමරාව හැසිරවූ අතර ප්‍රියන්ත රත්නසිරි කලා අධ්‍යක්ෂකවරයායි. තරිඳු ඉලංගකෝන් සහ නලින්ද ධර්මසිරි සහාය අධ්‍යක්ෂණයෙන් මීට සම්බන්ධ වී තිබෙනවා. අංග රචනය මනනුවන් රූපසිංහ සහ කුමාර ගලහිටියාව එකතුවෙනි.

චමෝද් කෞෂල්‍ය සහ බානුක පැලවත්ත දෙදෙනා විසින් සංගීත නිර්මාණය සිදු කර තිබෙනවා. මංජුල සේනානායක සහ ගෝතම මනම්පේරි ගීපද රචනයෙන් එක්වූවා. මාලිංග විජේසිරි චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරුයි.

චරිත් රත්නායකගේ ගායනයෙන් හැඩවන මෙහි ඇතුළත් ගීතයකුත් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා.

Share

202 Views 5 On 4 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.