අතුරුදන් වූ පුතු වෙනුවෙන් යුක්තිය සොයායන මවක්
80 දශකයේ අග භාගය ශ්‍රී ලංකාව දේශපාලනිකව තරමක් අඳුරු කාලයක් ගතකළා. ඒ කාලයේ තරුණ වියේ පසුවූ අයට මේ අත්දැකීම් හොඳින් මතක ඇති. රජයේ හමුදා විසින් රාජ්‍ය මර්ධනය දියත් කරමින් රජයට එරෙහිව කැරළි ගැසූ තරුණයින් මරා දැමුවා වගේම කැරළිකරුවන් විසිනුත් රාජපාක්ෂික මිනිසුන් ඝාතනය කිරීම සිදුකළා. අතුරුදන්වීම් ඝාතන අතිශය සුලභ කාලයක් වූ මේ සාමය අඳුරු, ගුප්ත කාලවකවානුවක් ලෙස ඉතිහාසයේ සටහන් වනවා.
බබානෝනා කියන්නේ මේ කාලයේ ජීවත් වුන “ඩෝබි” කාන්තාවක්. ස්වාමියා අහිමි මේ කාන්තාව තමන්ගේ පුතා වුනු කමල් සමග ජීවත් වෙනවා. කුල පරම්පරාවෙන් ඇයට උරුම වුනු රෙදි සේදීම ඇයත් සිය ජීවිකාව කරගත්තා. ඇගේ පුතා කමල්, ඉගෙනීමට දක්ෂ තරුණයෙක්. දවසක් මහා රෑ හදිසියේ ඇගේ නිවසට කඩාවදින නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් ඇගේ පුතාව පැහැරගෙන යනවා. එතැන් පටන් අවුරුදු හයක් තිස්සේ ඇය තමන්ගේ පුතාව සොයමින් සෑම තැනකම ඇවිදිනවා. මේ ගමනේ අවසානය කෙබඳු වේද..? බබානෝනාට ඇගේ පුතු මුණගැසෙයිද..? අපරාධකරුවන්ට නීතිය මගින් නිසි දඬුවම් ලැබෙයිද..? මේ සියල්ලට විසඳුම් ලබාගැනීමට නම් ඔබ පාංශු චිත්‍රපටය නැරඹිය යුතුයි.
ප්‍රංශයේ නීස් අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නිළිය ලෙස බබානෝනා චරිතය නිරූපණය කළ ප්‍රවීණ රංගන ශිල්පිනි නීටා ප්‍රනාන්දු සම්මාන ලැබුවා. තවත් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ කිහිපයක්ම දිනා ගැනීමට සමත් වුනු “පාංශු” චිත්‍රපටය තිරරචනය කොට අධ්‍යක්ෂණය කලේ ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්. මේ ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණය වනවා. මීට පෙර සයපෙති කුසුම චිත්‍රපටය නිර්මාණය කරමින් ලිංගික සුළුතරය පිලිබඳ සංවාදයක් ගොඩනැගීමට උත්සාහ කළ විසාකේස, මෙවර 88/89 දේශපාලනික අරගලයේ වින්දිතයන් සහ ඔවුන්ගේ ජීවන වෘතාන්තයන් අපට යළි සිහිපත් කරවනවා.
නදී කම්මැල්ලවීර, මයුර කාංචන, රන්දික ගුණතිලක, සේවියර් කණිෂ්ක, ගයාන් ලක්රුවන්, ජගත් මනුවර්ණ, නිල්මිණි බුවනෙක, කුමුදු කුමාරසිංහ, ග්‍රේස් තෙන්නකෝන්, මැල්කම් මචාඩෝ, දයා වයමන්, ඇතුළු පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. දිමුතු කාලිංග දහනායක කැමරා අධ්‍යක්ෂණයෙන්, සිතුම් සමරජීව සංස්කරණයෙන්, චින්තක ලක්මාල් ජයකොඩි සංගීත නිර්මාණයෙන්, කුමාර කරව්දෙනිය කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණයෙන් ෂර්ලි සමරසිංහ සහ නිමේෂ් උදයන්ත නිෂ්පාදන කළමනාකරණයෙන් චිත්‍රපටයට දායක වී තිබෙනවා.
දැන් දිවයින පුරා පිහිටි සිනමාහල් වල “පාංශු” චිත්‍රපටය තිරගත වනවා. මේ ඔබ අමතක කළ හෝ අමතක කරන්නට උත්සාහ කළ අත්දැකීම් විය හැකියි. නැතිනම් ඔබ අත් නොවිඳි එක අඳුරු යුගයක මතකයන් ඔබට තිරයෙන් අත්විඳීමට ලැබෙන අවස්ථාවක් විය හැකියි. මේ අවස්ථාව මග නොහරින්න. ඔබට ලඟම සිනමාහලෙන් “පාංශු” නරඹන්න.
Written by Nisanka Weheraduwa