පාට ගෑව හීනයක් කියන්නෙ මම දැකපු හීනය – ඉෂාන් වඩුගේ.

Avatar Nisanka Weheraduwa | May 21, 2021 58 Views 1 Like 3.67 On 3 Ratings

58 Views 3.67 On 3 Ratings Rate it

සිනමාව කියන්නෙ ලංකාවේ ජීවත් වෙන කෙනෙකුට දකින්න පුළුවන් අමාරුම හීනයක් කියල කෙනෙක් කිවුවොත්..? ඔබ ඊට එකඟ වෙන්නත් පුළුවන්. සමහරවිට එකඟ නොවෙන්නත් පුළුවන්. ඒ කොහොම වුනත් තරුණ නිර්මාණ ශිල්පියකුට ලංකාවේ සිනමාව ඇතුලේ තමන්ගේ නිර්මාණයක් කරනව කියන එකම දැවැන්ත අභියෝගයක්. ඔහුට හෝ ඇයට බොහෝ දුෂ්කර මාර්ගයක ගමන් කරමින් තමයි ඒ කටයුත්ත කරන්න වෙන්නේ. දුෂ්කරතා අභියෝග මේ සියල්ල අතරෙත් තමන්ගේ හැඩයට නිර්මාණයක් කරන තරුණ පරම්පරාව අගය කළ යුතුමයි. ඉෂාන් වඩුගේ කියන්නෙත් එවැනි තරුණයෙක්. නිර්මාණයක් ඉදිරිපත් කිරීම තමන්ගේ හීනයක් කරගෙන, ඒ හීනය පසුපස හඹාගිහින් හීනය හැබෑ කරගත් තරුණයෙක්. තමන්ගේ හීනය ගැන ඔහු අප සමග කතාබහකට එකතු වුනා.

Q: ඉශාන් වඩුගේ කියන තරුණ නිර්මාණකරුවාව කොයි විදිහට හැඳින්වුවොත්ද ඔබ කැමති?

ලංකාවේ සිනමා කර්මාන්තය දැන්වත් ඇත්තටම වෙනස් වෙන්න ඔනි කියන කෝණයෙන් දකින අධ්‍යක්ෂණය අත්හදා බලන ලාබාලතම ආදුනිකයෙක් විදිහට තමයි මම දැනට හදුන්වන්නට පුලුවන්.

Q: “පාට ගෑව හීනයක්” ඔබේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය… ඒ ගැන කතා කළොත්?

පාට ගෑව හීනයක් ළමා චිත්‍රපටය අවුරුදු තුනක ස්වයං අධ්‍යනයක ප්‍රතිඵලයක් විදිහට නිර්මාණය වෙච්ච මගේ පළමු සිනමා අත් දැකීම. ඇත්තටම සතුටු වෙන්න ඔනි පලවෙනි සිනමා නිර්මාණයට රංගනයෙන් දායක වුනේ ප්‍රවීණ රංගන ශිල්පී ජනක් ප්‍රේමලාල්, රංජිත් රූබසිංහ , රත්නා සුමනපාල , බුද්දී රණ්දෙනිය කියන රංගන ශිල්පින් ශිල්පිණියන්. ආදුනික අධ්‍යක්ෂකවරයෙක්ට ලබා දෙන්න පුලුවන් උපරිම සහයෝගයක් ඔවුන් හැමකෙනෙක්ම මට ලබා දුන්නා. පාට ගෑව හීනයක් ළමා චිත්‍රපටය කතා කරන්නේ මව් පිය ස්නෙහස අහිමව සිය සොහෝදරියක් සමග ගමක ජීවත් වෙන අවුරුදු දහයක කුඩා දියණියක් ගැන. ඇය තම ජීවිතයේ සිදුවන විවිධ සිදූවිම් වලට මුහුණ දෙනවා. මේක වාණිජ පරමාර්ථයෙන් බිහි වුණු චිත්‍රපටයක්.

Q: පාට ගෑව හීනයක් චිත්‍රපටය නිර්මාණය කරන්න ඔබ යොමු වුණේ කොහොමද?

මං මාධ්‍ය එක්ක වැඩ කරන්න පටන් ගත්තේ මෙරට ළමා නාලිකාවකින්. මන් අත්පොත් තිබ්බේ ළමා ලෝකයක. මං වැඩ කරේ මේ ලොකේ ලස්සන ඇත්තටම දකින පිරිසක් එක්ක. ඉතින් මං ළමයින්ට ගොඩාක් ආදරෙයි. මං දන්නවා එයාලා හොයන රසය. ඉතින් මං හිතුවා පුංචි පොඩිත්තො වෙනුවෙන් සිනමාවක් ගොඩ නැගෙනවා නම් හොඳයි කියලා.  මොකද අද ඉන්න තරුණ පිරිස විදේශ රටවල තාක්ශණය එක්ක බිහි වෙන චිත්‍රපට අපේ දේ එක්ක ගොඩාක් උසස් කරලා කතා කරනවා. අපි කොච්චර වියදම් කරලා අපෙම දෙයක් කරන්න උත්සහ කරත් සාර්ථකත්වයක් දකින්න බැහැ. ඒ නිසා මගේ ප්‍රේක්ෂකයන් පොඩිත්තෝ. එයාලට මං අලුත් ලෝකයක් හදන්න තමයි මේ පාට ගෑව හීනයක් එකතු වෙන්නේ.

Q: පාට ගෑව හීනයක් සිනමාපටය නිර්මාණය කරන්න බොහෝ පිරිසක් ඔබේ සහයට ඉන්න ඇති නේද, ඔවුන් ගැනත් මතක් කළොත්?

නැහැ. මුලින්ම කියන්න ඕනි චිත්‍රපටය බිහිවෙන්නේ මගෙම නිශ්පාදන ආයතනයේදී. යුමේ ස්කයි ෆිල්ම්ස් (Yume Sky Films ) මේ නිශ්පාදන ආයතනය ගොඩ නැගෙන්නේ මගෙම මහන්සියෙන්. උදව්වට කියල හිටියේ පවුලේ අය සහ මේ චිත්‍රපටයේ නිශ්පාදක තුමා පමණයි. ඇත්තටම ගොඩ දෙනෙක් මුලදි කට වචනයෙන් නම් හිටියා. ඒත් වැඩක් කරද්දි තමයි පිරිස් කවුද කියලා හදුනාගන්න ලැබෙන්නෙ.

Q: ඉෂාන් වඩුගේ කියන්නෙ සිනමාකරුවෙක් වෙන්න සිහින දැකපු පුද්ගලයෙක්ද?

අම්මෝ ඔව්. මේක මගේ හීනය. තාමත් මං ඒ හීනය හොයන් යනවා. අඩු වයසකින් ප්‍රදර්ශණය කරන්න පුලුවන් චිත්‍රපටයක් කරේ මම. ඒක මං කෙලින්ම කියනවා. මොක්ද මටත් අඩු වයස් වල දක්ශයෝ මේ රටේ ඉන්නවා. නමුත් ඒ නිර්මාණ සහ අති දක්ශයෝ සමාජ මාධ්‍යයට පමණක් සීමා වෙලා. මමවත් හිතුවේ නෑ මගේ පලවෙනි නිර්මාණය මේ තරමින්වෙ සාර්ථක කරගන්න හැකිවෙයි කියලා. කොහොම උනත් දැන් ඒ හීනය හැබෑ වෙලා. ඉතින් මේ තමා මන් දැකපු හීනේ ප්ලවෙනි පියවර. මොකද මේ නිර්මාණය වෙන්න කලින් මම අවස්ථා ගානක අන්ත අසරණ වෙලා අසාර්ථක වුනා. කවුරුත් උදව් කරේ නෑ. නමුත් අපි කාගෙන්වත් උදව් ඉල්ල්ගෙන නොයා තනිවම වැඩ කරන තැනට එන්න ඕනි. මම එදා අන්ත අසරණ වෙලා අසාර්ථක වෙච්චි දවසේ මේ ගමන අතහැරියානම් අද මේ තැනට එන්න බෑ. ඒ නිසා වැඩ කරන්න. හීන දකින්න. උත්සහ කරන්න. අසාර්ථක වෙන්න. එතකොට සාර්ථකත්වයට යන පාර යාන්තමට හරි දකින්න පුලුවන්.

Q: පාට ගෑව හීනයක් චිත්‍රපටිය නිර්මාණය කරනකොට මුහුණ දුන්න අමතක නොවෙනම සිදුවීමක් මතක් කළොත්?

කොරෝනා වසංගත කාලය මැද තමයි නිර්මාණයට අතගැහුවේ. චිත්‍රපටයේ නිශ්පාදක නුවන් මධුසංක රන්දොබගේ අමතක කරන්න බැහැ. මොකද මගේ හීනයට පාට දුන්නේ ඔහු. අමතක නොවන් සිදුවීම් ගොඩායි.  එකක්.. අපි මහන්සිවෙලා නැවත පටිගත කල දර්ශන වාරයක විෂුවල් තාක්ශණක දෝෂයක් මත මැකිලා තිබුනා. එදා නම් ගොඩක් අසරණ වුනා. නමුත් ප්‍රවීණ රංගන ශිල්පීන් මට උදව් කරා. ඒ වෙච්චි දේ හදාගන්න.

Q: ඔබ මොන විදිහේ සිනමා භාවිතාවක් තියෙන කෙනෙක්ද?

පොදුවේ කිවුවොත්ක කලාත්මක සහ වාණිජ කියන දෙකම. කතාවක් තියෙනවා කලාකරුවා දුප්පතා කියලා. මං ආස නෑ ඒ කියමන හරියි කියලා සමාජ ගත කරන්න. මොකද අපේ මේ රට නිධානයක්. අපිට ඇයි බැරි හොද නිර්මාණයක් මිනිස්සුන්ට දෙන්න. ඒක පුලුවන්. හැබැයි අමාරුයි. මොකද අද කාලයේ නිර්මාණයක් පෙන්නලා ඒකට වාණිජ වටිනාකමක් ගන්නවා කියන්නේ වෙනම කලාවක්. ලංකාවේ මිනිස්සුන්ට දෙසියක් තුන්සියක් දීලා නිර්මාණයක් බලන්න පුලුවන් වත්කම තියෙනවා. නමුත් ගැටලුව කාලයකට කලින් ආපු ඇතැම් සිනමා නිර්මාණ. කැමරාවක් අතේ තියන් විඩියෝ එකක් කරා කියල ඒක සිනමා නිර්මාණයක් වෙන්නෙ නැහැ. අධ්‍යක්ෂණයත් එහෙමයි. මේක ආගමක්. දීර්ඝකාලීන අත්දැකීම, මිනිස්සු හඳුනා ගැනිම, අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මම තාම මිනිස්සු හිතන විදිහ හිතනවා.

Q: තරුණයෙක් විදිහට චිත්‍රපටියක් නිර්මාණය කරන්න යෑමේදි ඔබට අභියෝග රාශියක් එල්ල වුණු බවට සැකයක් නැහැ. අපි කතා කරමු?

මේ නිර්මාණය පටන් ගත්තු දවසේ සිටම නිශ්පාදන කණ්ඩායමට එල්ල වුයේ අභියෝග.. බාධක… අතපසු වෙච්චි තැන් ගොඩක් තිබුනා. හේතුව අපිට මිනිස්සු අඳුරගන්න කල්ගත වීමයි. චිත්‍රපටය පටිගත කිරීම් කරේ හොරණ, බුලත්සිංහල ,අතුරුගිරිය වගේ ප්‍රදේශ වල. ඇතැම් දර්ශනතලවල කිසිම පහසුකමක් තිබුනේ නෑ. ඒත් කොහොම හරි වැඩ ටික කරගත්තා. ඇතැම් සිදුවීම් පවා පිටපතෙන් ඉවත් කරන්න වුනා. චිත්‍රපටය සංස්කරණය කරේ පන්නිපිටිය Dilshine Pictures වෙනුවෙන් තාරුක දිල්ශාන් සහෘදයා. ඇත්තටම දක්ශයෙක්. මාස එකහමාරක් වගේ කාලයකින් අපිට සංස්කරණය අවසන් කරන්න පුලුවන් වුණා. නිදිමරන්, ඔන්ලයින්, හැම විදිහටම සංස්කරණය කරා. තාරුක මල්ලිගේ අදහස් මාව ඊළග නිර්මාණය කරන්න උත්තේජනයක් ගෙනාවා..  ඉතින් රසවත් දේවල් මෙන්ම කට්ටකුත් කෑවා සංස්කරණය කරද්දි. හැබැයි එවා මාර රසයි.

Q: ඔබේ පළමු නිර්මාණ වෑයම “පාට ගෑව හීනයක්”, ප්‍රේක්ෂකයාට නරඹන්න පුලුවන් කොයි ආකාරයටද?

කොවිඩ් අවධානම නිසා සිනමාහල් වලට ගිහින් දරුවෝ එක්ක නිර්මාණය බල්න්න තවත් කාලයක් යනවා. ඒ නිසා අපි ඩීවීඩී වෙළදපොළට චිත්‍රපටය නිකුත් කරා. මේ වන විට දිවයින පුරා ඩීවීඩී හල් වලින් අපේ නිර්මාණය මිලදී ගෙන ආරක්ශිතව නිවසට වෙලා දරුවන් එක්කම බලන්න පුලුවන්. ඒ වගේම අපේ නිර්මාණය නරඹලා මුදල් තාග්‍ය දිනාගන්නත් පුලුවන්.

Q: සිනමාවට, අධ්‍යක්ෂණයට පිවිසෙන්න මඟ බලන් ඉන්න කෙනෙකුට, නිර්මාණකරණයේ පළමු පියවර තැබූ කෙනෙක් විදිහට ඔබ දෙන උපදෙස?

අලුතෙන් හිතන්න. හීන හැබෑ කරගන්න නම් හීන දකින්නම ඕනි. හිතාගෙන ඉන්න ප්‍රේක්ෂකයන් පිරිස වෙනස් කරලා බලන්න. කිසිම තැනකට කොටු වෙන්න එපා. උත්සහය අත හරින්නත් එපා. අසාර්ථක වෙන්න. එතකොට සා‍ර්ථක වෙන්න්න පාර පෙනෙයි.

සංවාදය සහ සටහන : කවිනු වීරක්කොඩි.

Share

58 Views 3.67 On 3 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.