සුප්‍රකට Lyca Productions මෙරට චිත්‍රපට නිෂ්පාදනයට – නවතම ලාංකීය චිත්‍රපට 06ක වැඩ පටන් ගනී

Avatar Kavinu Weerakkody | January 2, 2024 206 Views 1 Like 0 Ratings

206 Views 0 Ratings Rate it

Lyca Productions ලෙසින් හැඳින්වෙන්නේ දකුණු ඉන්දියානු සිනමා කර්මාන්තයේ පෙරළිකාර චිත්‍රපට රැසක් බිහි කළ, සිනමා නිෂ්පාදන ආයතනයක්. 2014 වසරේදී තලපති විජෙයිගේ Kaththi දමිළ චිත්‍රපටය නිෂ්පාදනය කරමින් තම ගමන ඇරඹූ ඔවුන් ඉන්පසුව, Vada Chennai – 2.0 – Darbar – Ponniyin Selvan – Don ආදී තමිල්නාඩු සිනමාවේ ජනප්‍රිය වාණිජ චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය කළා.
බොහෝ දෙනෙකු පවසන පරිදි, වර්තමාන දමිළ සිනමා කර්මාන්තයේ තිබෙන දැවැන්තම චිත්‍රපට නිෂ්පාදන ආයතනය වන්නේ ද මෙයයි.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙකු වන අල්ලිරාජා සුබාස්කරන් හිමිකාරීත්වය දරන මෙම Lyca Productions ආයතනය පසුගියදා ශ්‍රී ලංකාව තුළද සිය මෙහෙයුම් ආරම්භ කළ අතර එහිදී EAP Films සමූහය හා එක්ව, ශ්‍රී ලාංකීය සිනමාපට නිෂ්පාදනය වෙනුවෙන් “Lyca Productions Lanka” නමින් නවතම සිනමා ආයතනයක් ද ඇරඹුනා.

දැවැන්ත මූල්‍යමය ශක්තියක් සහ නිරතුරුවම යාවත්කාලීන වන තාක්ෂණයක් සහිත Lyca Productions වැනි ආයතනයක් ලාංකීය සිනමාව හා අත්වැල් බැඳ ගැනීම මෙරට සිනමාවට විශාල ශක්තියක් වනු බව නොඅනුමානයි. දකුණු ඉන්දියාව පුරා විහිදී තිබෙන ඔවුන්ගේ සම්බන්ධතා උපයෝගී කරගෙන ලාංකීය සිනමාව සහ ඉන්දියානු සිනමාව අතර තිබෙන සහයෝගීතාව තවදුරටත් වැඩි දියුණු කරගැනීමට ද මෙතුළින් හැකියාව ලැබෙනවා.

පසුගියදා පැවති මෙහි සමාරම්භක උත්සවයට මෙරට නලු නිළියන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටි අතර Lyca Productions අධිපති අල්ලිරාජාහ් සුබාස්කරන් සහ ජනප්‍රිය දමිළ සංගීත අධ්‍යක්ෂක සන්තෝශ් නාරායනන් ද ඊට සහභාගී වුනා.
එහිදී Lyca Productions හරහා මෙරට සිනමාවට තිළිණ කිරීමට නියමිත නවතම ලාංකීය චිත්‍රපට 06ක් ගැනත් නිල වශයෙන්ම නිවේදනය කෙරුනා.

Mali: Yorker King
Absalom, my Son
Devi Kusumasana
Star Friends
RR75 (working title only)
Chanthrakasam
යනුවෙන් හැඳින්වෙන එම චිත්‍රපට හයෙන් පහක් සිංහල භාෂාමය නිර්මාණ වන අතර ඉන් එක් චිත්‍රපටයක් දමිළ භාෂිත නිර්මාණයක්.

Mali: Yorker King

Mali: Yorker King චිත්‍රපටයට පාදක වන්නේ මෙරටින් බිහිවූ දක්ෂ සහ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංගගේ ජීවිත කතාවයි. ලසිත් මාලිංග ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමේ සිට ලෝකයේම ජනාදරයට පත් ක්‍රීඩකයෙකු වීම දක්වා ඔහුගේ ජීවිත කතාව Mali: Yorker King සිනමාපටයෙන් ඔබට දැකගත හැකියි.
ලංකාව මෙන්ම ඉන්දියාව සහ ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය වෙනත් රටවල් තුළ ද ලසිත් මාලිංගට තිබෙන විශාල රසික ආකර්ෂණය නිසා, මෙය ශ්‍රී ලාංකීය – ඉන්දියානු ජනප්‍රිය නලු නිළියන් රැසක් යොදාගෙන, විදෙස් රටවල් ගණනාවකම තිරගත කිරීමේ සැලසුමෙන්, සිදු කිරීමට නියමිත දැවැන්ත ජාත්‍යන්තර මට්ටමේ සිනමා නිර්මාණයක්.
චිත්‍රපටයේ ප්‍රධන චරිත රැසක් සඳහා ජනප්‍රිය දකුණු ඉන්දියානු නලු නිළියන් ද සම්බන්ධ වීමට නියමිත බව පැවසෙනවා.

Mali: Yorker King ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ජීවිත කතාවක් ඇසුරෙන් නිපදෙවන දෙවන වෘතාන්ත චිත්‍රපටය වන අතර මීට පෙර මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිපදවූ “800” ඉන්දියානු සිනමාපටයත් මේ දිනවල ලෝ පුරා සාර්ථකව තිරගත වනවා.
ප්‍රියන්ත කොළඹගේ විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන අතර මීට පෙර ඔහු නිපදවූ ආදරණීය කතාවක්, දේදුනු ආකාසේ වැනි නිර්මාණ මෙරට රසිකයින් අතරෙ හි සෑහෙන ජනප්‍රිය වුනා.

මේ දිනවල Mali: Yorker King චිත්‍රපටයේ පූර්ව – නිෂ්පාදන කටයුතු සිදුවෙමින් පවතින අතර නුදුරු දිනකදී ම මෙහි රූපගත කිරීම් ඇරඹීමට නියමිතයි. සිංහල භාෂාවට අමතරව දකුණු ඉන්දියානු භාෂාවන් ගණනාවකට මෙය හඬ කැවීමටත් සැලසුම් කර තිබෙනවා.

Absalom, my Son

මේ මගේ සඳයි, අසන්ධිමිත්තා, ඇල්බොරාදා, අක්ෂරය, තනි තටුවෙන් පියාඹන්න ආදී පෙරළිකාර සිනමාපට රැසක් අධ්‍යක්ෂණය කළ අශෝක හඳගම මෙරට සිටින විශිෂ්ට ගණයේ සිනමාකරුවෙක්. දේශීය – ජාත්‍යන්තර සිනමා සම්මාන රැසකින් පිදුම් ලැබූ ඔහු Lyca Productions වෙනුවෙන් අධ්‍යක්ෂණය කිරීමට නියමිත නවතම චිත්‍රපටය වන්නේ Absalom, my Son සිනමා නිර්මාණයයි.

ඝාතනයට ලක් වූ සිය පුත්‍රයාගේ මරණයට යුක්තිය ඉල්ලමින්, සටන් වදින වයෝවෘද්ධ මවක් වටා Absalom, my Son සිනමාපටයේ කතාව දිවෙනවා. හේතුවක් නැතිව ඝාතනයට ලක්වූ තම පුත්‍රයාගේ මරණයට සහ ඔහුගේ ඝාතකයින්ට විරුද්ධව තනි මවක් ගෙනයන දීර්ඝ සටනක් නිසා සමාජයේ බොහෝ දෙනෙකුගේ ඉරණම වෙනස් වන ආකාරය Absalom, my Son සිනමාපටයෙන් නැරඹිය හැකියි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ මෙරට සිටින ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ස්වර්ණා මල්ලවආරච්චි විසිනි. අශෝක හඳගම මින් පෙර අධ්‍යක්ෂණය කළ ඇගේ ඇස අග (2015) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහාත් ස්වර්ණා මල්ලවආරච්චි රංගනයෙන් එක් වුනා. ඒ සිනමාපටයෙන් පසුව ස්වර්ණා මල්ලවආරච්චි සහ අශෝක හඳගම වැනි ක්ෂේත්‍රයේ දැවැන්තයින් දෙදෙනෙකු යළිත් තව සිනමාපටයක් වෙනුවෙන් එකතු වීම නිසාම, Absalom, my Son මෙරට චිත්‍රපට ලෝලීන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.

Devi Kusumasana

මහනුවර යුගයේ රාජ්‍යත්වයට උරුමකම් කියූ කුසුමාසන දේවිය හෙවත් දෝන කතිරිනා වටා ගෙතෙන ඵෙතිහාසික කතා පුවත ආශ්‍රයෙන් මෙරට සිනමාවට එකතු වන නවතම චිත්‍රපටය වන්නේ ‘දේවි කුසුමාසන’යි.

මහනුවර රාජ පෙළපතට උරුමකම් කියූ කුසුමාසන දේවිය කුඩා කල සිටම හැදී වැඩෙන්නේ පෘතුග්‍රීසින් යටතේ වුවත්, පසුව ඇය තම ප්‍රේමවන්තයා සමඟින් කන්ද උඩරට රාජධානිය තුළ සිය බලය පිහිටුවාගෙන පෘතුග්‍රීසින්ට එරෙහිව සටන් මෙහෙය වන්නට පටන් ගන්නවා. පළමු විමලධර්මසූරිය සහ සෙනරත් වැනි මහනුවර යුගයේ පාලකයින්ගේ අග බිසව වූ කුසුමාසන දේවිය වටා ජනප්‍රවාද රැසක් දක්නට පුලුවන්.

මෙසේ විදේශිකයින්ට එරෙහිව කැරලි ගැසූ කුසුමාසන දේවියත්, ජන වහරේ සඳහන් ඇගේ ප්‍රේම වෘතාන්තයත් ඇසුරු කරගෙන “දේවි කුසුමාසන” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ජයන්ත චන්ද්‍රසිරි විසිනුයි.
සමනල සංධ්වනිය – මිදුනු විශ්වය – ගරිල්ලා මාකටින් – අග්නිදාහය වැනි සිනමාපට ගණනාවක අධ්‍යක්ෂකවරයා වන ඔහු දඬුබස්නාමානය – අකාල සන්ධ්‍යා – වෙද හාමිනේ වැනි මෙරට රූපවාහිනියේ සුවිශේෂී ටෙලි නාට්‍ය රැසකුත් නිර්මාණය කළා.

දේවි කුසුමාසන චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වය නිරූපණය කරන්නේ මෙරට සිනමාවේ සිටින ජනප්‍රියම තරු යුගලක් වන හේමාල් රණසිංහ සමඟින් උදාරි වර්ණකුලසූරියයි. උදාරි – හේමාල් සුසංයෝගය මීට පෙරත් ‘ක්ෂීර සාගරය කැළඹින’, ’ආදරණීය කතාවක්’ වැනි සිනමාපට තුළින් රසිකයින්ට දැකගත හැකි වුනු අතර ඔවුන් දෙදෙනාම මෙරට වාණිජ සිනමාවේ ඉහළම ජනප්‍රියත්වයක් අත් කරගෙන සිටින රංගන ශිල්පීන්…

දේවි කුසුමාසන හි කැමරා අධ්‍යක්ෂණය රුවන් කොස්තා විසිනි. දිනේෂ් සුබසිංහ මෙහි සංගීත නිර්මාණය සිදු කරනවා.

Star Friends

අතීතයේ විසූ තම මුතුන් මිත්තෙකුට අයිතිව තිබූ ඉන්ද්‍රජාලික සෙංකෝලයක් ආරක්ෂා කිරීමට, නපුරු බලවේග හා සටන් කරන මිතුරන් තිදෙනෙකුගේ අපූරු කතා පුවතක් වටා ගෙතෙන නවතම සිංහල චිත්‍රපටයක් තමයි Star Friends.

මෙම මිතුරන් තිදෙනාගේ උත්සාහය හමුවේ අයහපත පරදමින් ලෝකයේ යහපත ආරක්ෂා වන ආකාරයත්, ඔවුන්ගේ මෙම වීර චාරිකාව තුළ මුහුණ දෙන්නට ලැබෙන අනපේක්ෂිත මායාකාරී සංසිද්ධිත් Star Friends චිත්‍රපටය පුරාම ප්‍රේක්ෂකයින්ට නැරඹිය හැකියි.

සිංහල සිනමාවට එතරම් නුහුරු- මෙරට සිනමාවෙන් එතරම් දැකගන්නට නොමැති Fantasy ශානරයේ ළමා චිත්‍රපටයක් වන මෙම Star Friends චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ චන්න පෙරේරා විසිනුයි. රංගන ශිල්පියෙක් – අධ්‍යක්ෂකවරයෙක් – සහ තිර පිටපත් රචකයෙකු ලෙසින් දශක ගණනාවක් තිස්සේ මෙරට කලා ක්ෂේත්‍රයේ සැරිසරන චන්න පෙරේරා යුගාත්‍රා, අන්ජලිකා වැනි නිර්මාණ කිහිපයක්ම මීට පෙරත් අධ්‍යක්ෂණය කර තිබෙනවා.
ඔහුගේ 2014 වසරේදී අධ්‍යක්ෂණය කළ “කල්පාන්තේ සිහිනයක්” චිත්‍රපටයද මේ හා සමානම fantasy කැටගරියේ අපූරු සිනමාපටයක්.

Star Friends චිත්‍රපටයට රොශාන් රණවන, අසන්කි ද සිල්වා සහ ලකී ඩයස් වැනි ජනප්‍රිය නලු නිළියන් පිරිසක් රංගනයෙන් එක්වන අතර චිත්‍රපටයේ ප්‍රධාන භූමිකා ත්‍රිත්වය නිරූපණය කරන්නේ ළමා නලු නිළියන් තිදෙනෙකු වටායි. සිනමාපටය පුරාම දිවෙන්නේ එම ළමා වීරයින් තිදෙනා සහ ඔවුන්ට එරෙහිව නැඟී සිටින අයහපත් මායාකරුවන්ගේ කතා පුවතයි.

Star Friends හි කැමරාකරණය චන්දන ජයසිංහගෙනි. සංගීතය සපයන්නේ දිනේෂ් සුබසිංහ සමඟින් සසික රුවන් මාරසිංහයි. ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයේ අපූරු සංගීතමාලා තුළින් දිනේෂ් සුබසිංහ මෙරට ප්‍රේක්ෂකයින් අතරෙ හි අතිශය ජනාදරයට පාත්‍ර වුනා.

RR75

තවමත් නිශ්චිත නමක් යෝජනා වී නොමැති RR75 ලෙසින් හැඳින්වෙන්නේ මෙරට ජනප්‍රිය නලු රන්ජන් රාමනායක රංගනයෙන් එක්වන, ඔහුගේ හැත්තෑ පස්වන සිනමා නිර්මාණයයි.

වාර්තා වන පරිදි මෙම චිත්‍රපටය නිර්මාණය වන්නේ අකාලයේ ඝාතනයට ලක් වූ, මෙරට සිටි ජනප්‍රිය නලුවෙකු වූ විජය කුමාරතුංගයන්ගේ ජීවිත කතාව පාදක කොටගෙනයි. චිත්‍රපටයේ චරිත සඳහා රංගනයෙන් එක්වන නලු නිළියන් ගැන වැඩි විස්තරයක් මාධ්‍යයට නිකුත් වී නැතත් රන්ජන් රාමනායක විසින් විජය කුමාරතුංගගේ චරිතය නිරූපණය කිරීමට නියමිත බවත් පැවසෙනවා. චිත්‍රපටයේ නම “විජය” ලෙස ඇතැම් මාධ්‍ය වාර්තා කළත් ඒ බව තවමත් තහවුරු වී නැහැ.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ද රන්ජන් රාමනායකයි. ඔහු මීට පෙර පාර්ලිමන්ට් ජෝක්ස් සහ දොස්තර නවරියන් චිත්‍රපට ද්විත්වය ද අධ්‍යක්ෂණය කළා. විජය කුමාරතුංග චරිතය සිනමාවට නැඟීම සඳහා ඔහු භාර්යාව වන, මෙරට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ අවසරය ද රන්ජන් රාමනායකට ලැබුනු බව පසුගිය කාලයේදී සමාජ මාධ්‍ය තුළ පැවසුනා.

බොහෝ විට මෙලෙස RR75 යනුවෙන් හැඳින්වෙන්නේ එම චරිතාපදාන නිර්මාණය විය හැකියි.

Chanthrakasam

Lyca Productions විසින් නිෂ්පාදනය කිරීමට යන නවතම ලාංකීය චිත්‍රපට පෙලෙ හි තිබෙන එකම දමිළ භාෂිත චිත්‍රපටය වන්නේ මෙයයි. කලක් මන්දගාමී බවක් දක්නට ලැබුනත්, පසුගිය වසර කිහිපය තුළදී ලාංකීය දමිළ සිනමාවෙ හි යළි පිබිඳීමක් දක්නට ලැබුනා. විශේෂයෙන්ම පසුගිය මාස කිහිපයක කෙටි කාලය ඇතුළතදීම මෙරට තිරගත වුනු ලාංකීය දමිළ චිත්‍රපට ප්‍රමාණය පහකට ආසන්නයි.

Lyca වැනි දැවැන්ත ආයතනයක සහායෝගය සහිතව නිර්මාණය වන Chanthrakasam වැනි චිත්‍රපටයක් හරහා මෙරට දමිළ සිනමාකරුවන්ට තම සිනමා සිහිනය ප්‍රායෝගික තලයකට ගෙන ඒම සඳහා ලැබෙන්නේ විශාල පිටිවහලක් සහ බලාපොරොත්තුවක්.

Chanthrakasam සිනමාපටය L.A. Rajakumarගේ අධ්‍යක්ෂණයක් වන අතර Navayuga Kugarajah මෙහි සම අධ්‍යක්ෂිකාව වශයෙන් කටයුතු කරවා.

Lyca Productions මෙලෙස ලාංකීය චිත්‍රපට නිෂ්පාදනය සඳහා මූලාරම්භය තබන්නේ මෙරට තිබෙන පැරණිතම සිනමා සමාගමක් වන EAP Films & Theatres LTD හා අත්වැල් බැඳ ගනිමිනුයි. EAP Films & Theatres සමූහය ශ්‍රී ලාංකීය සිනමාවට සම්බන්ධව ඉතා දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කරන අතර චිත්‍රපට නිෂ්පාදනයට අමතරව මෙරටට බොලිවුඩ් සහ හොලිවුඩ් සිනමාපට බෙදා හැරීමේ දැවැන්තයින් වන්නේ ද ඔවුනුයි.

සැවෝයි – සිනෙමැක්ස් – විල්මැක්ස් ආදී සිනමා ශාලා 13ක් ඔවුන්ට හිමිව තිබෙන අතර චිත්‍රපට බෙදා හැරීමෙහිලා දිවයින පුරා සිනමා ශාලා 45ක ශක්තිමත් දාමයකුත් EAP Films & Theatres සතුයි. Lyca Sri lanka හි ප්‍රධානී ලෙස ජානකී විජේරත්න කටයුතු කරන අතර ලාංකීය සිනමාපට මැදපෙරදිග – යුරෝපා – සහ ඇමරිකානු කලාපීය රසිකයින්ට ද ලඟ කරවීමේ අරමුණ ද සහිතවයි ඔවුන් විසින් මෙලෙස නවතම සිංහල චිත්‍රපට නිෂ්පාදනයට පෙළඹී තිබෙන්නේ…

රජිනිකාන්ත් – අජිත් කුමාර් – කමල් හාසන් වැනි සුප්‍රසිද්ධ දමිළ නලු නිළියන් රඟන, Lal Salaam – Vidaa Muyarchi – Indian 02 වැනි ජනප්‍රිය දකුණු ඉන්දීය චිත්‍රපට රාශියක්ම ලයිකා නිෂ්පාදන දායකත්වය යටතේ ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.

Share

206 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.