ආචාර්ය ධර්මසේන පතිරාජ සමුගනියි
ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන් මීට සුළු මොහොතකට පෙර දිවියෙන් සමුගත් බව වාර්තා වනවා. හෙතෙම මාස කිහිපයක් තිස්සේ රෝගාතුරව සිටි බව සඳහන්. පසුගිය මාස දෙකක වැනි කාලයක් තිස්සේ ආචාර්ය පතිරාජයන් දැඩි ලෙස රෝගී තත්වයන් පෙන්වූ බවත් සඳහන් වනවා. 2018 ජනවාරි 28 වැනිදා අලුයම හෙතෙම සිනමාවේ මෙන්ම ජිවන ගමනේද සියලු අරගල නිමවා සදහටම නික්ම ගොස් තිබෙනවා.
1943 මාර්තු 28 වැනිදා මහනුවරදී උපත ලැබූ ආචාර්ය ධර්මසේන පතිරාජයන් මියයන විට වයස 74ක්ව තිබුනා. මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ආචාර්ය පතිරාජ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සරසවි අධ්‍යාපනය හදාරා මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාදිය ලබාගෙන තිබෙනවා. 1970 වසරේ සතුරෝ නම් කෙටි චිත්‍රපටයක් මගින් සිය සිනමා ගමනට පියවර තැබු ආචාර්ය පතිරාජයන් 1974 අහස ගව්ව නිර්මාණය කරමින් සිනමාවේදියෙක් ලෙස මෙරට සිනමා ඉතිහාසයට එක්වුණා. එතැන් පටන් සම්මානනීය සිනමා නිර්මාණ රැසක් ශ්‍රී ලාංකීය සිනමාවට තිළිණ කළ ඔහු, අවසන් වරට නිර්මාණය කළ ස්වරූප සිනමාපටය මිට මාස දෙකකට ඉහතදී ප්‍රදර්ශනය වුනා. මියයන විට සිය උපන්ගම වන මහනුවර ප්‍රදේශයේ දිවි ගෙවූ ආචාර්ය පතිරාජයන්ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව නිවේදනය කෙරෙනු ඇති.
Written by Nisanka Weheraduwa
