කතුරු මිතුරු – දෙරණ Lux සිනමා සම්මාන 2024
සිකුරු හතේ – සුහද කොකා සිනමා නිර්මාණවලට පසුව ගිරිරාජ් කෞෂල්‍ය විසින් අධ්‍යක්ෂණය කළ නවතම සිංහල චිත්‍රපටය, කතුරු මිතුරු යි. මුල සිට අවසානය දක්වාම ප්‍රේක්ෂකයාව සිනහවෙන් ඇඳ බැඳ තබා ගන්නා මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ මෙරට ප්‍රවීණතම රංගන ශිල්පීන් දෙපළක් වන ජයලත් මනෝරත්නයන් සහ මහේන්ද්‍ර පෙරේරා විසිනුයි.

කතුරු මිතුරු චිත්‍රපටය ගෙතෙන්නේ සැම්සන් සහ විල්සන් නැමැති වසර ගණනාවක් තිස්සේ හඳුනන අතිජාත මිත්‍රයින් දෙදෙනා වටායි. සැම්සන් පරණ තාලයේ, සාම්ප්‍රදායික ඇඳුම් මසන්නෙකු වන අතර විල්සන් ද කරණවෑමියෙකු ලෙසින් සිය ජීවිකාව කරගෙන යන සාම්ප්‍රදායික පන්නයේ පුද්ගලයෙක්. සැම්සන්ට පුතෙකුත් විල්සන්ට දුවෙකුත් සිටිනවා. ඔවුන් දෙදෙනාම විශ්ව විද්‍යාල ගමන අවසන් කර නැවතත් ගමට පැමිණ සිටින්නේ සිය අධ්‍යාපනික සුදුසුකම්වලට සරිලන රැකියාවක් සොයා ගැනීමට බැරි වූ නිසායි.
අවසානයේදී ඔවුන් දෙදෙනාත් ඇඳුම් මසන්නෙකු සහ කරණවෑමියෙකු වන්නට සිය පියාගේ වෘත්තියට සහාය වන්නට පටන් ගත්ත ද සැම්සන් සහ විල්සන් ඊට එකඟ වන්නේ නැහැ. සිය දරුවන් දෙදෙනා උසස් ආයතනයක හොඳ රැකියාවක් කරනු දැකීමටයි ඔවුන් දෙදෙනාටම අවශ්‍ය වන්නේ.
නමුත් සියලු බාධක මඟ හරිමින් පියාගේ අඩිපාරේ යන දරුවන් දෙදෙනා විල්සන් සහ සැම්සන්ගේ වෘත්තියේ සාම්ප්‍රදායික මාදිලියට වඩා වෙනස් නව තාලයක ගමනක් යෑමටයි සූදානම් වන්නේ…
කතුරු මිතුරු චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ මෙම අතිජාත මිතුරන් දෙදෙනාගේ ඒ අපූරු කතා පුවතයි.

ජයලත් මනෝරත්න – මහේන්ද්‍ර පෙරේරාට අමතරව රොඩ්නි වර්ණකුල සහ ප්‍රියන්ත සෙනවිරත්න විසින් චිත්‍රපටයේ උපප්‍රධාන චරිත රඟ දක්වනවා. තුරුණ යුවලගේ චරිත රඟපා න්නේ සඳනි හෙට්ටිආරච්චි සහ රසාංජන නන්දසිරියි.
එමෙන්ම මොරින් චාරුණී, ජයනි සේනානායක, මිහිර සිරිතිලක, ඩී බී ගංගොඩතැන්න, ගිහාන් ප්‍රනාන්දු, සහන් රන්වල, වසන්ත විට්ටච්චි, ආනන්ද අතුකෝරළ, සම්පත් ජයවීර, ලලිත් ජයකාන්ත, චන්ද්‍රසෝම බිංදුහේවා, දයා වයිමන්, නිමල් යටිවෙල, එස් අයි සමරක්කොඩි, සමන් හේමරත්න, උපතිස්ස බාලසූරිය, ශිරෝමිකා ප්‍රනාන්දු, සුදාර රන්දෙනි, ගාමිණි අම්බලන්ගොඩ, රංග ජයකොඩි, රූපා පතිරණ සහ නිමල් ජයසිංහ ද මෙම චිත්‍රපටය තුළින් දැක බලාගත හැකියි.
අධ්‍යක්ෂණයට අමතරව චිත්‍රපටයේ තිර පිටපත රචන කළේ ද ගිරිරාජ් කෞෂල්‍ය විසින්මයි. රුවන් ද කොස්තා චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයායි. ජයන්ත අබේරත්න, අමිල ප්‍රේමරත්න සහ ආලෝක සම්පත් මෙහි සහාය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුනා. සංස්කරණය කළේ අජිත් රාමනායක විසිනි. මනෝජ් වික්‍රමසිංහ කලා අධ්‍යක්ෂණයෙන් සහ ප්‍රියන්ත කස්තුරිආරච්චි ශබ්ද පරිපාලනයෙන් කතුරු මිතුරු චිත්‍රපටයට එක්වුනා.
අංග රචනය ප්‍රීති විජේසිංහගෙනි. යසිත් සිරිවර්ධන මෙහි විධායක අධ්‍යක්ෂකවරයායි.

විශාරද රෝහණ වීරසිංහගේ සුමියුරු නාද රටාවන්ට අමරසිරි පීරිස්, තාරක ගුණරත්න, අමන්ද්‍යා උත්පලී ඇතුළු පිරිසක් ගීත ගායනා කරනවා. ගී පද රචනය බණ්ඩාර ඇහැළියගොඩ – අචල සොලමන්ස් සහ නිලාර් එම් කාසිම්ගෙනි. නිෂ්පාදන සැලසුම්කරණය ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගෙනි.
කතුරු මිතුරු නිෂ්පාදනය කරන්නේ ආලංකුලම ෆිල්ම්ස් (Alankulama FIlms) වෙනුවෙන් බාසුරු සිරිවර්ධනයි. ආසයි මං පියාඹන්න, කුසපබා, සුවඳ දැනුනා ජීවිතේ, රෝස කැලේ වැනි ජනප්‍රිය සිංහල සිනමාපට රැසක්ම ආලංකුලම ෆිල්ම්ස් විසින් මීට පෙර නිෂ්පාදනය කළා. මෙය ඔවුන්ගේ හත්වන සිනමා නිර්මාණයයි.

කතුරු මිතුරු චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.
මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!
එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…
මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
09වන දෙරණ LUX සිනමා උළෙලෙ හි ජයග්‍රාහී සිනමාපටවලට සම්මාන ලබා දෙන අති – උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය එළඹෙන නොවැම්බර් 10 වනදා TV දෙරණ ඔස්සේ සජීවීව නැරඹිය හැකියි.
Written by Kavinu Weerakkody
