කොරෝනාවෙන් ජීවිතය හැරගිය ඉන්දීය සිනමා තරු.
සටහන : කවිනු වීරක්කොඩි
චීනයෙන් ඇරඹි Covid 19 වෛරසය ලොවම වෙළාගෙන වසර දෙකකටත් වැඩි කාලයක් ගත වී තිබෙනවා. වර්තමානය වන විට, වෛසරයේ බලපෑම ඉන්දියානු කලාපයට බලපා ඇත්තේ පෙරදාටත් වඩා අතිශය දරුණු ආකාරයෙන්. මේ වන විටත් ලක්ෂ ගණනක් මරණයට ගොදුරුව තිබෙන මේ වෛරසය නිසා, සිනමා ක්ෂේත්‍රයට සිදුව තිබෙන්නේ සුලු පටු පාඩුවක් නම් නොවෙයි. සිනමාහල් වසා දැමීම, චිත්‍රප නිෂ්පාදන ඇණහිටීම වගේ කාරණාවන්ට අමතරව ලෝක සිනමාව තුළ බිහිවූ දක්ෂ, ජනප්‍රිය සිනමාකරුවන් රාශියක්ම කෝවිඩ් වැළඳීම නිසා සිනමාවෙන් පමණක් නොවෙයි ජීවිතයෙන්ම සමුගෙන තිබෙනවා. අසල්වැසි ඉන්දියානු සිනමාවේ ශිල්පීන් කිහිප දෙනෙකුම මෙලෙස කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් තිබෙනවා.
Bikramjeet Kanwarpal
ලාංකීය ප්‍රේක්ෂකයින්ට හුරුපුරුදු හින්දි නලුවෙකු වන බික්‍රම්ජීත් කන්වපාල් මෑතකාලයේදි වැඩියෙන්ම ජනප්‍රිය වූයේ 24, Avrodh සහ Special OPS වැනි වෙබ් කතාමාලා වලින්. 2 States, Anjaan, The Gazhi Attack, Hate Story 2 වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට හරහාද බික්‍රම්ජීත් තමන්ට ආවේණික රසිකයින් පිරිසක් ගොඩ නඟා ගත්තා. පසුගිය මැයි 01වනදා covid-19 වැළඳීම හේතුවෙන් මරණයට පත් වන විට ඔහු 52වන වියෙහි පසු වුණා.
Pandu
1970 දශකයේ සිටම සක්‍රීයව සිනමාවට දායක වුණු ප්‍රසිද්ධ හාස්‍ය රංගන ශිල්පී පන්ඩුද දින කිහිපයකට පෙර කෝවිඩ් වසංගතයට ගොදුරු වී අප අතරින් සමුගත්තා. Ghilli, Singam, Kanchana 2, Mazhai වැනි ජනප්‍රිය දමිළ සිනමාපට ගණනාවකට හාස්‍ය රංගනයෙන් එකතු වුණු ඔහුගේ වියෝව ලාංකික රසිකයින් බොහෝ දෙනෙක්ගේගේද ඇස් කඳුළින් තෙත් කිරීමට සමත් වූ බව සත්‍යයක්. මැයි 06වනදා කෝවිඩ් තත්වය උත්සන්න වී රෝහල්ගත කරන විට ඔහුට වයස අවුරුදු 74ක්.
Shravan Rathod
90 දශකයේ අතිශය ජනප්‍රිය වුණු ගීත ඇල්බම් රාශියක් නිර්මාණය කළ සංගීත ශිල්පී Shravan Rathod කෝවිඩ් 19 වැළඳීම නිසා මිය ගියේ පසුගිය අප්‍රේල් 20වනදායි. ඔබත් 90 දශකයේ ඉන්දීය සිනමා රසිකයෙකු නම් ඔහු සංගීතයෙන් දායක වූ Aashiqui (1990), Saajan (1991) වැනි සුමිහිරි ගීත ඇතුළත් සිනමාපට අමතක වන්නට විදිහක් නැහැ.
Abilasha Patil
Chhichhore, Good Newwz, Badrinath ki Dulhania වැනි හින්දි චිත්‍රපට නිසැකවම ඔබ නරඹා තිබෙන්නට පුලුවන්. එවැනි mainstream projects ගණනාවකම රංගනයෙන් දායක වුණු නිළි Abilasha Patil මැයි 06වනදා අප අතුරින් සමු ගත්තා. මෙසේ මිය යන විට ඇයට වයස අවුරුදු 40ක්වත් ගත වී තිබුණේ නැහැ. මරාති සිනමාව හරහා ප්‍රාන්තීය ජනප්‍රියත්වයක් හිමි කරගත් ඇය පසුගිය වසර කීපය තුළම ජනප්‍රිය හින්දි සිනමාපට සඳහාත් තම දායකත්වය ලබා දුන්නා.
Ramu
කර්ණාටක සිනමාව හෙවත් කන්නඩ සිනමාවේ දැවැන්ත චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය කළ, චිත්‍රපට නිෂ්පාදක රාමු, කොරෝනා තත්වය මත මිය යන විට 51වන වියේ පසුවුණා. ඔහු නිෂ්පාදනය කළ AK 47, Kiccha, Auto Shankar වැනි කන්නඩ සිනමාපට සමාජය තුළ අලුත් cult බිහි කළ ඒවා බවට මතයක් පවතිනවා.
Kishore Nandlasarkar
Simmba, Singham, Vaastav වැනි ඉන්දීය නිර්මාණවල විවිධ සහය චරිතවලට දායක වුණූ රංගන ශිල්පී කිෂෝරේව ඔබට හුරුපුදුරු මුහුණක් වන්නට ඇති. මරාති සිනමාව හරහා රංගනයට පිවිසි ඔහු එකිනෙකට වෙනස් සිය චරිත තෝරාගැනීම් හරහා ජනප්‍රියත්වයට පත් වුණු අතිදක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුව අවසාන වරට අපට දක්නට ලැබුණේ පසුගිය පෙබරවාරියේදී නිකුත් වුණු 1962: The War in the Hills වෙබ් කතාමාලාව හරහායි. ඔහු අප්‍රියෙල් 20 වැනිදා සිය ජීවිතයෙන් සමුගත්තා.
Written by Nisanka Weheraduwa