මනල් (Munnel – மணல்) – දෙරණ Lux සිනමා සම්මාන 2024

Avatar Kavinu Weerakkody | October 9, 2024 237 Views 0 Likes 0 Ratings

237 Views 0 Ratings Rate it

දෙරණ මාධ්‍ය ජාලය විසින් සංවිධානය කරනු ලබන දෙරණ Lux සිනමා උළෙලෙ හි 09 දිගහැරුම වෙනුවෙන් දැන් සියලු කටයුතු සූදානම්. 2023 වසරේදී තිරගත වුනු ලාංකීය සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් අතුරින් විශිෂ්ටතම නිර්මාණ අගයනු වස්, පැවැත්වෙන මෙම සිනමා සම්මාන රාත්‍රිය මෙරට පැවැත්වෙන දැවැන්තම දේශීය සිනමා උළෙල ලෙසින් හැඳින්වූවාටත් වරදක් නැහැ.

මෙවර සම්මාන උළෙල සඳහා තෝරාගත් පසුගිය වසරේ සිංහල සහ දමිළ භාෂිත නිර්මාණ අතුරින් අවසාන නිර්දේශ නාම අතරට පැමිණෙන්නට හැකියාව ලැබුනු තවත් එක් දමිළ චිත්‍රපටයක් වන්නේ විසාකේස චන්ද්‍රෙස්කරම් විසින් අධ්‍යක්ෂණය කළ මනල් (Munnel – மணல்) සිනමාපටයයි.

පශ්චාත් යුද්ධ සමයේ වසර පහක් සිරගත වීමෙන් පසුව නිදහස ලැබූ තරුණයෙකු සිය අතීතය සහ ආදරය සොයා යන ගමනක් වටා ගෙතෙන “මනල්” චිත්‍රපටය, දමිළ භාෂිත සිනමා නිර්මාණයක්. මෙරට සිංහල සිනමාවට නිරන්තරයෙන්ම එකිනෙකට වෙනස් – නැවුම් චිත්‍රපට එකතු වුනත්, ලාංකීය දමිළ සිනමාව තුළ දක්නට ලැබෙන්නේ ඊට සාපේක්ෂව අඩු නිර්මාණ ප්‍රමාණයක්.

මනල් චිත්‍රපටයට පාදක වන්නේ යුධ සමයේදී අතුරුදහන් වූ ‘වානි’ නැමැති සිය පෙම්වතිය සොයා යන, හිටපු – දමිළ කැරලිකරුවෙකු වූ ‘රුද්‍රන්’ගේ කතාවයි. මෙරට උතුරු ප්‍රදේශය මුල් කරගත් සිවිල් යුද්ධ සමයේදී රුද්‍රන් ආයුධ සන්නද්ධව ඊට සම්බන්ධ වුනත්, යුද්ධය අවසන් වීමත් සමඟ ඔහුව පුනරුත්තාපනය සඳහා යොමු කෙරෙනවා. රුද්‍රන් පුනරුත්තාපන කඳවුරෙන් නිදහස් වන්නේ යුද්ධය අවසන් වී වසර කිහිපයක්ම ගතවීමෙන් අනතුරුවයි.

එතෙක් හමුදා රැඳවුම් භාරයේ සිට නැවත ගම්මානයට පැමි‍ණි රුද්‍රන්ට, ඔහුගේ පෙම්වතිය වන වානි යුද්ධ සමයේදී අතුරුදහන් වූ බවක් දැනගන්නට ලැබෙනවා. මනල් චිත්‍රපටයට පාදක වන්නේ එතැන් සිට සිය පෙම්වතිය සොයා යන රුද්‍රන්ගේ කතාවයි..!!!

සිනමාපටයේ ප්‍රධාන භූමිකාව වන රුද්‍රන් නැමැති තරුණයාගේ චරිතයට පණ පොවන්නේ සිවකුමාර් ලින්ගේස්වරන් විසිනුයි. තුර්කා මහේන්ද්‍රන් වානිගේ චරිතය නිරූපණය කරනවා. ඊට අමතරව කමලා ශ්‍රී මෝහන් කුමාර්, ධනංජන දිනුවන්ත වැනි පිරිසක් ද මෙහි සෙසු චරිත තුළින් දැකගත හැකියි.

ඇමරිකාවේ සැන් ඩියාගෝ ආසියානු සිනමා උළෙල, හොන්ග් – කොන්ග් ආසියානු සිනමා උළෙල, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ජාත්‍යන්තර සිනමා උළෙල, දකුණු අප්‍රිකාවේ ඩර්බන් ජාත්‍යන්තර සිනමා උළෙල යනාදිය ඒ අතුරින් සුවිශේෂියි.

එම විදෙස් සිනමා උළෙල නියෝජනය කරමින් ලබාගත් ජාත්‍යන්තර සම්මාන 04කටත් විසාකේසගේ මනල් (Munnel) චිත්‍රපටය මේ වනවිට හිමිකම් කියනවා. 52වන රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උළෙලේදී එය ලබා ගත් “ජූරියේ Tiger සම්මානය” ඒ අතුරින් සුවිශේෂීයි.

52වන රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උළෙලෙ හි ප්‍රධානතම තරගකාරී අංශයක් වන Tiger Award Competition යටතේ එම උළෙල නියෝජනය කළ විසාකේස චන්ද්‍රසේකරම්ගේ “මනල්” (Munnel) චිත්‍රපටයට, එම අංශයේ දෙවෙනි විශිෂ්ටතම නිර්මාණය උදෙසා පිරිනමන විශේෂ ජූරි සම්මානයකින් (Tiger Special Jury Award) පිදුම් ලැබීමට හැකි වුනා.

ඊට අමතරව බැංගලෝර් සිනමා උළෙලේ දෙවැනි හොඳම සිනමාපටය සහ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පැවැත්වූ 22වන ඉමැජින් ඉන්ඩියා ජාත්‍යන්තර සිනමා උළෙලේ (IIIFF) හොඳම සිනමාපටය ලෙසත් ‘මනල්’ සිනමාපටය ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුනා. පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේදී සංවිධානය වුනු තස්වීර් සිනමා උළෙලේදී ප්‍රේක්ෂක ඡන්දයෙන් හොඳම චිත්‍රපටය ලෙසට තේරී පත්වුනේ ද මනල් සිනමාකෘතියයි.

සිනමාපටයේ අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපත රචනා කර තිබෙන්නේ ද විසාකේස චන්ද්‍රසේකරම් විසිනුයි. මෙය ඔහුගේ තෙවන සිනමා නිර්මාණයයි. ’90 දශකයේදී සහාය අධ්‍යක්ෂකවරයෙකුගේ භූමිකාව හරහා සිනමාවට පිවිසෙන ඔහු ශක්ති, රජ කෙල්ලෝ සහ ත්‍රීෂූල් වැනි ලාංකීය නිර්මාණවලට සහාය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුනා.

විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය 2014 වසරේදී සයපෙති කුසුම (Frangipani) නමින් තිරගත වුනු අතර ලෝ පුරා ජාත්‍යන්තර සම්මාන උළෙල ගණනාවකදී එය සම්මානයට පාත්‍ර වුනා. 2020දී ලාංකීය රසිකයින්ගේ විශාල ආකර්ෂණයක් දිනාගත් පාංශු (Panshu) චිත්‍රපටය ඔහුගේ දෙවන නිර්මාණයයි.

ගී පද රචනය ජෙනෝෂන් ජයරත්නම්ගෙනි. “මනල්” (Munnel – மணல்) චිත්‍රපටයෙ හි කැමරාකරණය රිශී සෙල්වන් විසිනි. සිතුම් සමරජීව මෙහි සංස්කරණ කටයුතු සිදු කළ අතර පද්මයාන් සිවනාදන් චිත්‍රපටයේ සංගීත නිර්මාණ ශිල්පියායි.

චන්න අසංක කලා අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුනා. සෙල්වරාජ් ලීලාවති ඇඳුම් නිර්මාණකරණයෙන් සහ, ජූලියස් ඇන්ඩෲ වේශ නිරූපණයෙන් මනල් චිත්‍රපටයට එක්ව තිබෙනවා. අරුණ කලුආරච්චි මෙහි ශබ්ද පරිපාලක ශිල්පියායි. වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර විසිනි. චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයා ජෙනෝෂන් ජයරත්නම් ය. භරත් පන්චද්සරම් මෙහි නිෂ්පාදන කළමනාකරු විසින් කටයුතු කොට තිබෙනවා.

Havelock Arts Studios වෙනුවෙන් “මනල්” (Munnel – மணல்) චිත්‍රපටයෙ හි නිෂ්පාදන පිරිවැය දරන්නේ ද විසාකේස චන්ද්‍රසේකරම් විසිනි.

මනල් (Munnel – மணல்) චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.

මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!

එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…

මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

09වන දෙරණ LUX සිනමා උළෙලෙ හි ජයග්‍රාහී සිනමාපටවලට සම්මාන ලබා දෙන අති – උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය එළඹෙන නොවැම්බර් 10 වනදා TV දෙරණ ඔස්සේ සජීවීව නැරඹිය හැකියි.

Share

237 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.