ලෙස්ටර්ගේ උපන්දිනයට ජනපති පැමිණෙයි

Avatar Nisanka Weheraduwa | April 5, 2018 66 Views 0 Likes 0 Ratings

66 Views 0 Ratings Rate it

ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස්ගේ 99 වැනි ජන්ම දිනය අද (අප්‍රේල් 05)ට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් වැඩසටහන් කිහිපයක් අද දවස තුළ පැවැත්වීමට නියමිතයි. අද උදෑසන ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස්ට සුභ පැතීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම නිවසට ගොස් තිබෙනවා. එහිදී උදෑසන කෑම මේසයට ජනපති සහභාගී වූ බව සඳහන්. අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාරද මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක නිෂ්පාදිකා රේණුකා බාලසුරිය සහ තවත් පවුලේ සමීපතමයින් කිහිප දෙනෙක් මෙම අවස්ථාවට සහභාගී වූ බව සඳහන්.

ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස්ගේ සංකල්පයකට අනුව ඔහුගේ බිරිඳ සුමිත්‍රා පීරිස් නිර්මාණය කළ “වෛෂ්ණාවී”  චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් එතුමන්ගේ උපන් දිනය වන අද  දිනයේ පැවැත්වීමට නියමිතයි. සවස 6.30ට  කොළඹ රීගල් සිනමාහලේදී පැවැත්වෙන මෙම උත්සවයට විශේෂ ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වීක්‍රමසිංහ සහභාගී වනු ඇති. ඊට සමගාමිව එතුමන්ගේ උපන්දින සැමරුම් උත්සවයද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

1919 අප්‍රේල් 05 වැනිදා උපත ලැබූ ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් මේ වනවිට 99 වැනි වියේ පසු වනවා. 1949 සිට 2006 වසර දක්වා චිත්‍රපට අධ්‍යක්ෂණයේ යෙදුනු හෙතෙම නිර්මාණය කළ චිත්‍රපට සංඛ්‍යාව 19ක්. රේඛාව, ගම්පෙරළිය, නිධානය, ගොළු හදවත, කලියුගය, අවරගිර, යුගාන්තය, වෑකන්ද වලවුව ඒ අතර විශේෂිතයි. ඔහු විසින් නිර්මාණය කෙරුණු වෑකන්ද වලවුව සිනමාපටය මෙරට නියෝජනය කරමින් ඇකඩමි සම්මාන උළෙලකට නිර්දේශ වුනු ප්‍රථම සිනමාපටයද වනවා. ජිවන ගමනේ 99 වැනි කඩඉම පසු කරන ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් සිනමාවෙදියාණනි. ඔබට සුබ උපන්දාවක් වේවායි උණුසුම් සුබ පැතුම් පිරිනමනවා.

 

Share

66 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.