ශ්‍රීදේවිගේ සිරුර මුම්බායට – අවසන් කටයුතු හෙට සවස
ඉන්දීය නිළි ශ්‍රීදේවි අම්මා යෙන්ගර් අයියප්පන් කපූර් පසුගිය 24 වැනිදා රාත්‍රියේ අවසන් ගමන් ගියේ ඩුබායි නගරයේදීයි. 25 වැනිදා සිට මේ වනතෙක් ඇගේ මළ සිරුර නිදහස් කිරීම ඩුබායි පොලිසිය ප්‍රතික්ෂේප කළා. පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු සිරුර නිදහස් නොකිරීමට තීරණය කිරීම ඊට හේතුවයි. කෙසේ නමුත් අද සවස 2ට පමණ අදාළ වාර්තා සම්පුර්ණ කොට මළ සිරුර ඥාතින් වෙත බාරදීමට ඩුබායි රජය කටයුතු කළා. එම්බාම් කටයුතු සඳහා සිරුර යොමු කිරීමෙන් අනතුරුව විශේෂිත ගුවන් යානයක් මගින් සිරුර ඉන්දියාව වෙත රැගෙනවිත් තිබෙනවා. NDTV නාලිකාව වාර්තා කරන අන්දමට අද සන්ධ්‍යාවේ ඉන්දීය වේලාවෙන් 7.30ට පමණ ඇගේ දේහය රැගත් ගුවන් යානය මුම්බායි වෙත ලඟා වී තිබෙනවා. අනතුරුව පවුලේ ඥාතින් විසින් සිරුර බාරගෙන අගේ නිවහන වෙත රැගෙන ආ බව සඳහන්.
බොලිවුඩ් කොලිවුඩ් තරු රැසක් මෙන්ම පවුලේ ඥාතින් හිතවතුන් මෙන්ම ඇගේ රසිකයින් රැසක්ද එම ස්ථානයේ රැස්ව සිටියා. ඒ ඇගේ දේහයට අවසන් ගෞරව දැක්වීමේ අදහසින්. කෙසේ නමුත් කපූර් පවුල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සියලු දෙනාට තම ස්තුතිය පළකර සිටිනවා. මේ අසීරු අවස්ථාවේ ලබාදුන් සහයෝගයට කපූර් පවුලේ සහ අයියප්පන් පවුලේ ස්තුතිය පිරිනමන බව එයින් පැවසෙනවා. ඒසමගම අවසන් කටයුතු හෙට (28 වැනිදා) සවස 2.00ට පමණ සිදුකෙරෙන බවත් නිවේදනයේ සඳහන් වනවා.
මුලාශ්‍ර : NDTV
2018/02/27 – 10.00PM
Written by Nisanka Weheraduwa
