සබඳ අප අතර කඳුය.. – The Mountain Between Us

Avatar Nisanka Weheraduwa | October 15, 2018 65 Views 0 Likes 0 Ratings

65 Views 0 Ratings Rate it

උපුටා ගැනීමකි.

සටහන : දමිත් වැලිකල

*************************************************************************

බෙන් නම් ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු හා ඇලෙක්ස් නම් වෘත්තීය ඡායාරූප ශිල්පිනිය ගුවන් තොටපොළකදී අහඹු ලෙස මුණ ගැසෙති. වෙන් කරගත් පුද්ගලික ගුවන් යානයකින් කඳුකර පෙදෙසක් මතින් ගමන් කරන අතරතුරදී ගුවන් යානය අනතුරට ලක් වේ. හිමෙන් වැසී ගිය කඳුකර පෙදෙසේ හුදෙකලා වන ඔවුන් ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක අරගලයක නිරත වේ. සිය අප්‍රතිහත ධෛර්යයත්, උත්සාහයත් නිසා අවසානයේ දිවි බේරා ගැනීමට ඔවුන් සමත් වන්නේ ජීවිතය, ආදරය සහ රැකවරණය පිළිබඳ උත්තුංග මානුෂීය හැගීම් සමුදායක් අත්දැකීම් ලෙස ජීවිතයට එක් කරගනිමිනි.

මේ වූ කලී, චාර්ල්ස් මාර්ටින් විසින් රචිත The Mountain Between Us
නවකතාව පාදක කොට ගනිමින් හැනී අබු අසාඞ් විසින් එනමින්ම අධ්යක්ෂණය කළ අපූරු සිනෙමැටික ආදර වෘත්තාන්තයේ කතා වස්තුවයි.
සිනෙමා ලෝලින් ලෙස, හුදෙකලා භාවයන් පිළිබඳ තේමාවන් ඔස්සේ නිර්මාණය වූ අග්‍රගන්‍ය සිනෙමා කෘති ඉතා තියුණු අයුරින් මනුෂ්යත්වයේ සියුම් අහුමුලූ ස්පර්ශ කරන්නට සමත් වී ඇති අයුරු අප බොහෝ සේ දැක ඇත. Gravity, Life of Pie, Cast Away, The Terminal, The Martian, 127 Hours, Passengers වැනි සිහිවටනාත්මක සිනෙමා කෘති ගණනාවක් මෙහිලා මතකයට නගන්නට පිළිවන. මේ නිර්මාණ සියල්ලකම පොදු අත්දැකීම බවට පත් වූයේ හුදෙකලාවයි. ඒ තුළ පාත්‍රයා ඉරණම්කාරී ව්යසනයන්ට මුහුණ දෙන අයුරුත්, අධිෂ්ඨානය හා කැපවීම නිසාම එකී උවදුරුවලින් මිදී හුදෙකලාව ජයගන්නා අයුරුත් දැක්වීම මේ සිනෙමා කෘතිවල පොදු හරය සේ සැලකිය හැකිය.

The Mountain Between Us සිනෙමා නිර්මාණය තුළදී ද අපට මුණගැසෙන්නේ සාමාන්යි ලෝකයෙන් හුදෙකලා වූ හිමෙන් වැසී ගිය සීතල කඳු අතර තනි වූ එකිනෙකා නාඳුනන, යටත් පිරිසෙයින් වැඩි දැනඇඳුනුම්කමක් නොමැති යුවළකි. බෙන් කලූ ජාතිකයෙක් වීමත්, ඇලෙක්ස් සුදු ජාතික තරුණියක් වීමත් ඉතා ප්‍රවේසම්කාරී කියවීමකට අප තල්ලූ කරනසුලූ තෝරා ගැනීමකි. අනේකවිධ දුෂ්කරතා, බාධකවලට එක්ව මුහුණ දෙද්දී පවා ඔවුන් අතර නිර්මාණය වන ‘පරතරය’ යෝධ සීතල හිම කන්දකටත් වඩා විශාලය. Mountain Between Us යන යෙදුම පවා උපදින්නට ඇතැයි සිතෙන ඔවුන්ගේ ඒ ‘සමීප-දුරස්’ බව අප රිදවන සුලූය. සැබෑ වශයෙන්ම ඔවුන් දුරස් කරන්නේ කලූ-සුදු භේදය පමණක්ම නොවේ. ඔවුන් අතරමංව සිටින කඳු වළල්ලෙන් සැතපුම් සියදහස් ගණනක් ඔබ්බෙන් වූ බැඳීම් නැමැති යෝධ කඳු පන්තියකිනි. බැඳීම් යනු විටෙක අපේ නිදහස කොටුකරමින් මහා කඳු වළල්ලක් සේ අප වටා නිරන්තරයෙන් පවතින්නකි. එහෙත් ඒ සැබෑ බැඳීම් ඇත්තේ අපේ සිත තුළම මිස පිටත නොවන වග මෙම සිනෙමා කෘතිය අපට පවසයි. බෙන් හා ඇලෙක්ස්ගේ ‘ලිංගික පරිස්සම’ අප අවුළනසුලූ එකකි. ඒ පරිස්සම අපට මතක් කර දෙන්නේ පිටත ලෝකය ගැන අපේ සිත තුළම ඇති මහා කඳු වළල්ලයි. ඒ පරෙස්සම ගැන ඇති පරතරය බෙන් කලූ වීම හා ඇලෙක්ස් සුදු වීම තුළින් උපදින්නක් ද නැතහොත් වෙනත් සදාචාර මූලයකින් පැවතෙන්නක් ද යන්න එක් වරම නිශ්චය කළ නොහැකි වේ.
සිනෙමා කෘතිය පුරාම අප දකින්නේ බෙන් හා ඇලෙක්ස් පිටත ලෝකයෙන් වෙන් කළ හිමෙන් වැසී ගිය මහා කඳු පන්තිත් ඒ සියල්ලට ඉහළින් ස්වභාවික හැගීම් පරයා නැගී ඇති මහා උස් කඳුය. බෙන් හා ඇලෙක්ස් රමණයේ යෙදෙන දර්ශනය, මේ සිනෙමා කෘතියේ ඇති උච්චතම ස්ථානය මෙන්ම සුන්දරතම දර්ශනයයි. මහා හිම කන්දක් සෙමෙන් කඩා හැළෙන සේ ඔවුහු රමණය කරති. ඒ තුළ පවා මහා මානවීය ගැඹුරක් නිරූපණය කරන්නට සිනෙමාකරු උත්සහ දරා ඇත. ඇලෙක්ස්ට පණ පොවන කේට් වින්ස්ලේට්ගේ සහ බෙන් ලෙස ඉඩිරිස් එල්බාගේ රංගනය සිනෙමා පටය පුරාම ඉතා ස්වභාවිකත්වයෙන් පිරී පවතී. සැබෑ මානුෂීය හැගීම් ඉස්මතු කිරීමේ ඉතා අසීරු මෙන්ම සංකීර්ණ නලූ කාර්යයක ඔවුහු නියැලෙති.

අපට පිටතින් ඇති මහා අනෙකක් විසින් අපට උගන්වා ඇති කිසිවක් රකින්නට හැම විටම අපි උත්සාහ කරන්නෙමු. එහෙත් ඒ උත්සාහයන් හැම විටම ජයගන්නට අපි සමත් නොවෙමු. බෙන් හා ඇලෙක්ස් කඳුකරයෙන් ගැලවී නැවත පැමිණෙන්නේ ඔවුනොවුන්ගේ ලෝක වෙතය. එහෙත් අවසානයේ බෙන් හා ඇලෙක්ස් එක්වන බවට ඉගියක් සමග කතාව නිම වේ.

අප තුළම පැන නැගී ඇති මහා කඳු ශිඛර වැනි වූ ජාති, වර්ණ ආගම් සදාචාර බැඳීම් වැනි කවර භේදයන් තුළ වුවද සැබෑ ආදරයට ළං වන්නට අවකාශ යෙදීමේ අඩුවක් නැතැයි මේ සොඳුරු සිනෙමා කෘතිය අවසන අපට පසක් වන සත්‍යයි.
එහෙත් සබඳ,

අප අතර කඳුය.

——–
දමිත් වැලිකල

Share

65 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.