මඟහැර යා නොහැකි කර්ම පේ‍්‍රක්‍ෂකයා මඟහැර යන්නේ ඇයි ?

Avatar Cinema.lk A | December 4, 2012 106 Views 0 Likes 0 Ratings

106 Views 0 Ratings Rate it

පංචේන්‍ද්‍රිය යනු මිනිසා සිය අවට සමාජය පිළිබඳ දැනීමක්, අවබෝධයක් ලබාගන්නා ශාරීරික අංගයන්ය. මෙයින් ඇස, කණ ප‍්‍රධානය. අපගේ ඥාණයත්, බුද්ධියත් වර්ධනය වන්නේ දැකීම හා ඇසීම තුළිනි. සුවඳ-ගඳ, රස-නීරස, ස්පර්ශය හා දැනීම බොහෝ විට කායික චර්යාවන්ට අදාලය. කලාව යනු මිනිසාගේ බුද්ධියට සේම, මනසට ද ආමන්ත‍්‍රණය කරන මාධ්‍යයකි. මිනිසාගේ කායික සන්තර්පනයට, කායික අවශ්‍යතාවන්ට ආමන්ත‍්‍රණය කරන, ඊට බලපෑම් කරන කලා මාධ්‍යයන් නැති තරම්ය. තිබුණොත් එය අල්ප වශයෙන්ය. මිනිස් බුද්ධියට හා හැසිරීම් වලට ආමන්ත‍්‍රණය කල හැකි කලා මාධ්‍යයක් ලෙස සිනමාව හඳුනාගත හැක. සිනමාව යනු මිත්‍යාවකි. මායාමය ව්‍යාජයකි. ස්වභාවයෙන්ම මිනිසා මොහොතකට අඳුරේ අතරමං කිරීමකි. යථාර්ථය තුල දවස ගෙවනා මිනිසා පැයක් දෙකක් අඩ අඳුරේ මුලාකිරීමකි. පැය දෙකක් තිරය මත දෑස් දල්වා සිටින මිනිසා ඉන් හරි අඩක් අඳුරට නෙත් යොමා සිටීමට යොමුකිරීමකි. ඒ නිසාම එය මායාවකි. සිදුවිය යුත්තේ මේ මිත්‍යාව, මායාව පියවි සිහියෙන් යුතුව ග‍්‍රහණය කර ගැනීමකි. ඒ නිවැරදි දිශාවට යොමු කිරීමකි. පැය දෙකක් මිත්‍යාවෙ වෙසෙන්නා නැවත තත්‍ය ලෝකයට පිවිසිය යුතුය. යථාර්ථයට මුහුණදිය යුතුය. එනිසාම සිනමාවෙන් කල යුත්තේ මිනිසා අවධි කිරීමය. එහෙයින් සිනමාව මිනිස් හැඟීම් තුලින් බුද්ධියට ආමන්ත‍්‍රණය කරයි. ඇස, කණ පිනවා මනස විවරණය කරයි. සිනමා කලාවේ මූලික පදනම පේ‍්‍රක්‍ෂකයාට විනෝදාස්වාදය සැපයීමයි. ඒ තුලින් මිනිස් හදවතට ආමන්ත‍්‍රණය කිරීමයි. ජීවිතය ඥාණය සමග අවබෝධය වර්ධනය කිරීමටත්, පුළුල් ජීවන අත්දැකීමක් ඇති කිරීමටත් එය සමත්විය යුතුය. ඒ අනුව සිනමාය යනු පේ‍්‍රක්‍ෂකයා නව මිනිසෙක් බවට පත් කළහැකි, ඒ සඳහා යොමු කළ හැකි කලා මාධ්‍යයකි. එසේම බහුතර මිනිස් සමූහයකට එකවර ආමන්ත‍්‍රණය කළ හැකි කලා මාධ්‍යයකි. මිනිසා හා මිනිස් සමාජය වෙනුවෙන් නිර්මිත මාධ්‍යයකි. ජනතාවගේ කලාවකි.

ලාංකීය සිනමා ඉතිහාසය තුල එය විවිධ පුද්ගලයන්, විචාරකයන් විවිධාකාර ස්ථානයන් හි ස්ථානගත කර ඇත. හුදු විනෝදය, ලිංගිකත්වය, සමාජ විවරණය හා පුද්ගලික මනෝභාවයන් ප‍්‍රකාශ කිරීම යනාදී විවිධ ස්ථානගත කිරීම් හමුවේ පෙරට ආ ලාංකීය සිනමා කලාව මේ වනවිට සංවාදගත තැනකට පත්ව ඇත. ඒ තුල සිනමාකරුවා යනු හුදෙක්ම නිර්මාණකරුවෙක් පමණක් ද යන සංවාදය මතුව ඇත. එවන් වූ තත්වයන් තුළ ප‍්‍රසන්න ජයකොඩි නම් සිනමා කරුවාගේ ‘කර්ම’ සිනමා නිර්මාණය පිළිබඳ සාකච්ඡාවක් ඇති කරගත යුතුය. ඒ වත්මන් සිනමාව හා සිනමාකරුවාගේ භාවිතය හා කාර්යය වියයුත්තේ කුමක්දැයි යන සංවාදය මතු කරගැනීමේ අපේක්‍ෂාවෙනි. වඩා යහපත් සිනමාවක් හා වඩා වැඩි පේ‍්‍රක්‍ෂක සමූහයකට ආමන්ත‍්‍රණය කළ හැකි හොඳ සිනමාවක් වෙනුවෙනි. ප‍්‍රසන්න ජයකොඩි යනු නාට්‍ය ශිල්පියෙකි. සෙවණැලි සහ මිනිස්සු නාට්‍ය වේදිකාවට ගෙන ආ ඔහු ඉන්පසු අවතීර්ණ වන්නේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයටයි. නිසලවිල, ඉමදියමංකඩ, සඳ අමාවකයි, හඳවිල සක්මන යනාදී ටෙලිනාට්‍ය රූපවාහිනී තිරයට ගෙන ඒමෙන් අනතුරුව ඔහු ඔහුගේ ප‍්‍රථම සිනමා නිර්මාණය ලෙස සංකාරා සිනමා තිරයට ගෙන එයි.

බෞද්ධ දර්ශනය මත පදනම්ව සිය තේමාවන් නිර්මාණ තුලට බහාලන ප‍්‍රසන්න සංකාරා තුලින් පුද්ගල අභ්‍යන්තරය, අධ්‍යාත්මය, බාහිර පුද්ගල චර්යාවන් හා ගැටීම පිළිබඳ සාකච්ඡාවට බඳුන් කරයි. ඔහුගේ ටෙලිනාට්‍ය තුලද යම්තාක් දුරට මෙවැනි පුද්ගල අභ්‍යන්තර ලක්‍ෂණ පිළිබද කථිකාවක් ගෙන ඒමට උත්සාහ ගෙන ඇත. ප‍්‍රසන්න සිය වේදිකා නාට්‍ය තුලින්ද මතුකලේ එවැන්නකි. ‘කර්ම’ යනු ප‍්‍රසන්නගේ නවතම නිර්මාණයයි.

තම මවගේ මරණය සම්බන්ධයෙන් තමා වරදකාරයෙක් යැයි හැඟීමක පෙළෙන තරුණයෙක් තමාගේ ජීවිතයේ හිස්කම හා හුදකලාවට පිළිතුරු ලෙස තම කාමරයේ බිත්තියෙන් වෙන් වූ යාබඳ නිවසේ වෙසෙන තරුණියකගේ ජීවිතයට එඹී බලයි. මේ තරුණිය ද තම පෙම්වතා සමඟ ජීවිතය ගෙවයි. තරුණියට පියයුරු පිළිකාවක් වැළඳී ඇතැයි දැනගන්නා මේ පෙම්වතා ඇය කෙරෙහි ඇති ඇල්ම කෙමෙන් දුරස් කරගනී. ඉන් අනතුරුව තරුණයාගේ ලිංගික ආශාව, පීඩනය හා හැඟීම් තේරුම් ගන්නා තරුණිය පියල් හා ලිංගිකව හැසිරේ. ඇය පියයුරු පිළිකාවකින් පෙළෙන මරණාසන්න රෝගියෙකු බව හා පියයුරුක් ඉවත් කළ තරුණියක් බව දැනගන්නා මේ හුදකලා තරුණයාට සිය මව සිහිවේ. තමා සහවාසයේ යෙදෙන්නේ මව සමඟ යැයි හැඟීමක් ඇතිවන තරුණයා තරුණිය හමුවේ හඬා වැටේ. කම්පාවට පත්වේ. මව සම්බන්ධව තමා පෙළෙන ස්වයං වරදකාරී හැඟීමෙන් මිදීමේ අදහසින් තරුණයා තරුණියගේ මරණාසන්න මොහොත තෙක් උවටැන් කරයි. ඇයව රැකබලා ගනී.

මෙවන් වූ කතාවක් රැගත් ‘කර්ම’ තුලින් ප‍්‍රසන්න චරිත තුනක අභ්‍යන්තර හා අභ්‍යන්තර මනෝභාවයන්ගේ ක‍්‍රියාකාරීත්වය සාකච්ඡා කරයි. ප‍්‍රසන්න මේ සාකච්ඡාව සඳහා සිනමාව භාවිතා කරන්නේ කෙසේද? බහුතර පේ‍්‍රක්‍ෂක පිරිසකට චිත‍්‍රපටියක් තැනීම හා උසස් රසවින්දනය සහිත සිනමා කෘතියක් නිර්මාණය කිරීම යනු එකිනෙකට වෙනස් වූ කාර්යයන් දෙකකැයි බැලූ බැල්මට පෙණුන ද එය එසේ නොවේ. සිනමාකරුවෙකුට සිනමා මාධ්‍යය වෙනුවෙන් පෙනී සිටීම සේම රසිකයා පේ‍්‍රක්‍ෂකයා වෙනුවෙන් ද පෙනී සිටීමේ හැකියාවක් තිබිය යුතුය. සෑම නිර්මාණයක් ම පරිපූර්ණත්වයට පත්වන්නේ පේ‍්‍රක්‍ෂකයා හා ජනතාව හමුවට ගෙන ආ විටය. (පේ‍්‍රක්‍ෂකයා හෝ ජනතාව ඉල්ලන බාලගනයේ රසයන් වෙනුවෙන් නිර්මාණකරුවා පෙනී සිටිය යුතු යැයි යන ජනප‍්‍රිය මතය හා ඊනියා ඵෙතිහාසික සිනමා මනෝවිකාර නොවේ)සිනමාත්මක ප‍්‍රකාශනයක් ලෙස ‘කර්ම’ තුල පේ‍්‍රක්‍ෂකයා විවිධ ව්‍යාකූලත්වයන්ට පත්වේ. ඉව ඇල්ලීම (Gaze) හුස්ම (Breath) දියවීම (Melt) හා භාව විරේචනය (Catharsis) යනුවෙන් පරිච්ජේද 04 ට කොටස් කර ඇති චිත‍්‍රපටය විසඳිය නොහැකි ප‍්‍රශ්න කිහිපයකට පේ‍්‍රක්‍ෂකයාව බඳුන් කරයි. තනිකඩ තරුණයා සිය මව සමඟ ඇති නොරිස්සුම් සම්බන්ධය, මවගේ මරණයට ඔහු සම්බන්ධ යැයි ඇති හැඟීම, ඊට ඔහු වගකිව යුතු යැයි ඔහුම කරන ප‍්‍රකාශය ප‍්‍රශ්නකාරිය. මවගේ දෙතනින් කිරිබොන කුඩා දරුවා, මවගේ තැතිගැන්ම, දරුවාගේ හඬා වැටීම හා දොරට තට්ටු කරනා හෙවනැලි ප‍්‍රශ්නකාරීය. මීයන් මැරීමට පූසන් ඇති කිරීම, පූසන් ඇති කිරීම සමඟම මීයන්ට වස දැමීමත්, ඒ වස කා පූසන් මැරී යාමත් චිත‍්‍රපටය තුල අර්ථ ගැන්වෙන්නේ කුමක්ද? එහි ඇති සංකේත අර්ථ මොනවාද?

පියා හා ජංගම දුරකථනයෙන් බහින් බස් කරමින් ගමන් ගන්නා තරුණයා හා ඔහුගේ එක අතක ඇති Duty Free බෑගය චිත‍්‍රපටය හා ගැටගැසෙන්නේ කෙසේද? ප‍්‍රතිකාර ගැනීම සඳහා විදේශගවන තරුණිය නැවත හැරී සිය පියාගේ ගරා වැටුණු නිවස සොයා ගොස් තරුණයා සමඟ ලිංගිකව හැසිරීම, දැඩි ලිංගික පීඩනය හා කුතුහලයක් සහිත තරුණයා තරුණිය ඉදිරියේ හඬා වැටීම, තරුණියට තම පියා හිටි හැටියේම මතක් වීම ප‍්‍රශ්නකාරීය. තරුණයාගේ කාමරයේ ඇති වතුර ටැංකිය ඔහු එහි ගිලී නෑම, ඔරුවක් තුල හිඳිමින් රඟන නාට්‍ය දර්ශනයන් හා තනි කාමරයක සිය පෙම්වතා සමඟ විසූ තරුණිය සුඛෝපභෝගී පෞද්ගලික රෝහලක නවාතැන් ගෙන ප‍්‍රතිකාර ගැනීම ද ප‍්‍රශ්නකාරිය. මේ ප‍්‍රශ්න වලට චිත‍්‍රපටිය තුල පිළිතුරු නොමැත. එසේ නම් එය පේ‍්‍රක්‍ෂකයාගේ පරිකල්පනය ප‍්‍රශ්නයක්ද? එහි අඩුවක්ද? නැතිනම් අවබෝධයේ ප‍්‍රශ්නයක්ද?

‘කර්ම’ තුල පෙනෙනා රූපමය ප‍්‍රකාශනය චිත්තාකර්ශනීයයි. එහි කැමරාකරණය හා කලා අධ්‍යක්‍ෂණය පේ‍්‍රක්‍ෂකයාගේ දෑසට ප‍්‍රියතාවක්, වින්දනයක් ගෙනදෙයි. රංගනය ද කුතුහලය දනවයි. නැරඹීමට ප‍්‍රියතාවක් ගෙනදෙයි. ඝෝෂාකාරී සංගීතය ද ප‍්‍රශ්නකාරීය. සංස්කරණය චිත‍්‍රපටිය තුල පේ‍්‍රක්‍ෂකයාට ඇතිවන ගැටළු සඳහා මූලිකත්වය ගෙන ඇති බව පෙනේ. ඒ තුලින් ප‍්‍රසන්නගේ දර්ශනීය රූපරචනය හා අදහස උඩුයටිකුරු කර ඇත. ‘කර්ම’ සේම ප‍්‍රසන්නගේ බොහෝ නිර්මාණ වල මතුපිට පෙනුම දර්ශනයයි, චමත්කාරයි. ආකෘතිමය වෙනසක් නැවුම් බවක් ගෙනඒමට තැත්කිරීමක් කර ඇත. නමුත් ප‍්‍රශ්නය ප‍්‍රසන්න ඒ හැම එකකම පාහේ අන්තර්ගතයට දෙවන තැනක් දීමයි. ආකෘතිය මූලික කොට ගැනීමයි. ‘කර්ම’ තුල එය තදබල ලෙස විද්‍යාමාන වේ. සිනමාකරුවාගේ බෞද්ධ දර්ශනය හා බැ`දි අදහස් සමුදාය හා ආසියාතික සිතුවිලි බටහිර සිනමා ලක්‍ෂණ සමඟ මුහුකිරීමේ දී ආකෘතිමය ව්‍යාකූලත්වයක් බවට පත්ව ඇත. සිනමාකරුවා සිනමා මාධ්‍යය හා සිනමාත්මක රූපාවලින් පමණක් නොව තමා ආමන්ත‍්‍රණය කරන පේ‍්‍රක්‍ෂකයා පිළිබඳවද දැනුවත් විය යුතුය. විචාරකයන්, බුද්ධිමතුන්, දැනුවත් පේ‍්‍රක්‍ෂකයන් සේම, සාමාන්‍ය පේ‍්‍රක්‍ෂකයාද සිනමාව සිනමා කර්මාන්තය හා සිනමා කලාව සඳහා මහෝපකාරීය. ප‍්‍රසන්න එය අමතක කර ඇත. ප‍්‍රසන්නසේම වත්මන් සිනමාකරුවන් බොහෝමයක් මුහුණදී ඇති ප‍්‍රශ්නයත් එයමයි. සිනමා රූපය, සිනමා භාෂාව, තාක්‍ෂණය සේම අන්තර්ගතය ද වැදගත් යැයි සිතීම ඔවුන්ගෙන් ගිලිහී ගොස් ඇත. සිනමාකරුවාගේ සිනමාත්මක භාවිතය හා පේ‍්‍රක්‍ෂකයා එකට මුණගැසෙනා සිනමාවක් සඳහා මංපෙත් විවර කළ යුතුය. වඩා හොඳ සිනමාවක් හා යහපත් සමාජයක් වෙනුවෙන් එය සිනමාකරුවා සතු වගකීමකි. එය කළහැකි වන්නේ ද ප‍්‍රසන්නලා වැනි තරුණ සිනමාකරුවන්ටය.

ඒ නිසාම අද අප ප‍්‍රශ්න කල යුතු, සංවාද කල යුතු වන්නේ ද සිනමාව කුමක් සඳහා ද යන්නයි.

අජන්ත අලහකෝන්

Share

106 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.