උතුරු සුළඟ – දෙරණ LUX සිනමා සම්මාන 2024
මෙවර දෙරණ Lux සිනමා උළෙලට තරඟ වදින තවත් ජනප්‍රිය සිංහල සිනමාපටයක් ලෙසට චාමර ජනරාජ් පීරිස්ගේ “උතුරු සුළඟ (Uthuru Sulanga – Winds of Change)” හඳුන්වන්නට පුලුවන්.
පියවි, අයාල්, යාය 4 වැනි වෙනස්ම ආකාරයේ ටෙලි නාට්‍ය රැසක් පුංචි තිරයට එකතු කළ චාමර ජනරාජ් පීරිස් සිය පළමු සිනමා ආගමනය සිදු කරන්නේ උතුරු සුළඟ චිත්‍රපටයත් සමඟයි. අධ්‍යක්ෂණය මෙන්ම චිත්‍රපටයේ කතාව සහ තිර පිටපත රචනා කර තිබෙන්නේ ද ඔහු විසිනුයි.
පශ්චාත් යුධ සමයේ සිදුවන සිදුවීම් මාලාවක් ගැන කියැවෙන උතුරු සුළඟ (Uthuru Sulanga) චිත්‍රපටය මූලිකව දිවෙන්නේ සුනිමල් නැමැති තරුණයාගේ ජීවිත කතාව වටායි.
ඔහු වෙසෙන්නේ රජරට ප්‍රදේශයේ සුන්දර- නමුත් දුෂ්කර ගම්මානයකයි. ගම්මානයේ සිටින ‘රාළහාමි මාමා’ නැමැති වංශවත් පුද්ගලයාට උදව් උපකාර කරමින් ඔහුගේ නිවසේයි, සුනිමල් නැවතී සිටින්නේ. නමුත් සුනිමල්ගේ අතීතය ගැන කිසිම දෙයක් ගම්මානයේ කිසිවෙකු දන්නේ නැහැ. යම් සිදුවීමක් නිසා මතකය අහිමි වන සුනිමල්ටත් තමන් කවුරුන්ද… තමන් කොහේ සිටි පැමිණි අයෙක්ද… යන්න ගැන මතකයක් නැහැ.
ගම්මානයේ සිටින අනෙකුත් තරුණයින් පවා සුනිමල්ට එතරම් කැමැත්තක් නොදක්වන නිසා නිතරම ඔහු හා ගැටුමට එන්නටයි උත්සාහ දරන්නේ. මේ අතරේදී සුනිමල් සහ රාළහාමි මාමාගේ දියණිය වන යශෝ අතර ප්‍රේම සබඳතාවයකුත් ගොඩ නැඟෙනවා.
හේරත් ඒ ගැන දැනගැනීමත් සමඟ සුනිමල්ට සිදුවන්නේ කුමක්ද? ගම්වැසියන් නොදන්නා සුනිමල්ගේ පෙර ජීවිතය කෙබඳුද? උතුරු සුළඟ (Uthuru Sulanga) චිත්‍රපටය එතැන් සිට ඉදිරියට ගලා යන්නේ මෙම ගැටළුවලට පිළිතුරු සපයමිනුයි.
සිනමාපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට රඟපාන්නේ එරංග ජීවන්ත සහ කාවින්ද්‍යා දුල්ශානියි. එරංග ජීවන්ත විසින් සුනිමල්ගේ භූමිකාව සහ කාවින්ද්‍යා දුල්ශානි විසින් යශෝදරාගේ භූමිකාව නිරූපණය කරනවා. රාළහාමි මාමාගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රවීණ නලු ශ්‍රියන්ත මෙන්ඩිස් විසිනුයි. ඊට අමතරව බිමල් ජයකොඩි, සුජානි මේනකා, දුලාන් මන්ජුල, කසුනි කාවින්දි ෆර්නෑන්ඩෝ, සුලක්කනා හේරත්, රෝහණ බැද්දගේ, මීනා කුමාරි, දිල්හානි ඒකනායක, සනත් ගුණතිලක වැනි ජනප්‍රිය නලු නිළියන් රැසක්ම මෙහි උප-ප්‍රධාන චරිත රඟපානවා.
කපිල සුගත් විජේරත්න උතුරු සුළඟෙ හි කැමරා අධ්යක්ෂකවරයායි. අරුණ ශාන්තගේ අංග රචනයෙන් හැඩ වන මෙහි කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුත්තගෙනි. චිත්‍රපටයේ සංගීතය නිර්මාණය සිදුව තිබෙන්නේ ජානක ෆොන්සේකා – උදාර ජයකොඩි සුසංයෝගයෙනි. කීර්ති රුවන් උතුරු සුළඟෙ හි සහාය අධ්යක්ෂකවරයායි.
ලක්ෂිත ප්‍රබාත් පතිරාජ රේඛීය නිෂ්පාදනයෙන් එක්ව තිබෙනවා. වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂණයෙන් සහ තුෂානි බුලුමුල්ලේ ගීත රචනයගෙන් මීට සම්බන්ධයි. උතුරු සුළඟ චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරණය සිදු කොට ඇත්තේ අජිත් සමන්ත සහ මාලින්ද මධුසංකගේ සහායෙනි. උරේශා රවිහාරි සහ දුමාල් වර්ණකුලසූරිය ගයන ගීත කිහිපයකින්ම චිත්‍රපටය හැඩවී තිබෙනවා.
ආණමඩුව ප්‍රදේශයේ උස්වැව ගම්මානය ආශ්‍රිතව මූලික රූපගත කිරීම් සිදු කළ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Pics and Words Productions වෙනුවෙන් මොහොමඩ් ගානි, රසිත ජිනසේන සහ කපිල නවරත්න එකතුවෙනි. අධ්‍යක්ෂක චාමර ජනරාජ් පීරිස් ද සම නිෂ්පාදනයෙන් එක්වනවා.
උතුරු සුළඟ චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.
මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!
එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…
මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
09වන දෙරණ LUX සිනමා උළෙලෙ හි ජයග්‍රාහී සිනමාපටවලට සම්මාන ලබා දෙන අති – උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය එළඹෙන නොවැම්බර් 10 වනදා TV දෙරණ ඔස්සේ නැරඹිය හැකියි.
Written by Kavinu Weerakkody