කලාව ඇරුනහම මගේ ජීවිතේ වෙන්නෙ මගේ පවුලයි. – දිල්හානි

Avatar Nisanka Weheraduwa | January 5, 2022 78 Views 0 Likes 0 Ratings

78 Views 0 Ratings Rate it

වෙනත් ඕනෑම ක්ෂේත්‍රයකට වගේම සිනමාවටත් කලින් කලට තරු බිහිවෙනවා. ක්ෂණිකව දිලෙන සහ නිවෙන තරු අතරේ තමන්ගේ දීප්තිය දිගටම රඳවාගත හැකි තරු ඉන්නෙ බොහොම සුළු ප්‍රමාණයක්. ඒ අතර මුල් පෙලේ සිටින තරුවක් ඇය. දශක ගණනාවක් ගතවුනත් තමන්ගේ ජනප්‍රියත්වය එක ලෙසින් රඳවා ගැනීමට සමත්වූ ඇය ප්‍රවීණ රංගන ශිල්පිනි දිල්හානි අශෝකමාලා. සිංහල සිනමාව තුළ සිටින බය නැති එඩිතර ගැහැණියක් ලෙස බොහෝ දෙනෙක් ඇයව හඳුනා ගන්නවා. දේදුන්නෙන් සමනලියක් චිත්‍රපටය තිර ගත වී එක් රැයකින් අතිශය ජනප්‍රියත්වයට පත් වූ ඇය ඒ ජනප්‍රියත්වය අදටත් එලෙසින් රඳවාගෙන තිබෙනවා.

මෑත කාලයේදී දිල්හානි ගැන හැමෝම වගේ කතා කරන්න පටන් ගත්තෙ Underpants Thief ( ජංගි හොරා ) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයත් සමගින්. දිල්හානි ඒකනායකගේ රංගන ජිවිතයේ තවත් වෙනස්ම චරිතයක් මේ චිත්‍රපටය සමගින් දැකගත හැකිවන බව විචාරක සහ ප්‍රේක්ෂක අදහස් වලින් කියැවෙනවා.

“ගැහැණියකට අත දික් කරලා කතාවක් හදන එක හරි ලේසි වැඩක් , ඒත් ගැහැණිය කියන චරිතය කොයි තරම් ඉවසනවද කියලා කවුරුත් දන්නෑ. පිරිමින්ට වගේම ගැහැණියටත් මේ සමාජය තුළ සම අයිතිය තියෙන ඕන.  පවුලේ සියලුම බර කරට ගන්නේ ගැහැණිය. මාත් මවක් කලාව ඇරුනම මගේ ජිවිතේම මගේ පවුල . මන් ඕනෑම නිර්මාණයක් තෝර ගන්නේ කිසිම විදියකට මටත් මගේ පවුලටත් හානියක් නොවෙන විදියට. පවුල තුළින් මගේ නිදහස මට දිලා තියෙනවා. ඒ නිසා මට මන් කැමති නිර්මාණයක් සදහා සම්බන්ධ වෙන්න මට පුළුවන් වෙලා තියෙනවා.:” රංගන ජීවිතය සහ පෞද්ගලික ජීවිතය පිළිබඳව අදහස් දක්වමින් දිල්හානි පවසනවා.

තමන් චරිතයක් බාරගන්නේ තෝරාබේරා ගැනීමකින් පසුව බවත්, එලෙස තෝරාගන්නා චරිතය වෙනුවෙන් පෙර සුදානම් වීමක් තමන් නොකරන බවත් ඇය පවසනවා. අදාළ පිටපත සමග අධ්‍යක්ෂවරයා සමග සිදුකරන කතාබහෙන් පසුව දර්ශන තලයේදී තමන්ට දැනෙන ලෙස චරිතය නිරුපණය කිරීම තමාගේ ක්‍රමය බවත්, පෙර සූදානම් වෙමින්, සිදුකරන නිරූපණයන් ස්වභාවික බවින් ඔබ්බට ගොස් ශිල්පියා හෝ ශිල්පිනිය “රඟපාන” බව ප්‍රේක්ෂකයාට වැටහෙන මට්ටමට යා හැකි බවත් දිල්හානි පවසනවා.

“මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕන කාලයක් මේක. මිනිස්සු එක මතේකට එනවනම් මේ රට හදන්න පුළුවන්.නැත්නම් මානසික රෝහල් ඉදිරියට ගොඩක් හදන්න වෙනවා. මිනිස්සු හිතන එක දැන් ගොඩක් අත ඇරිලා නව නිර්මාණ බිහි වීම ගොඩක් අඩුවෙලා තියෙනවා. කලාව තුළ රැදිලා ඉන්නෙ දැන් කිහිප දෙනයි. කලා කරුවන්ටත්  ආර්ථික මට්ටමින් Covid වෛරසයත් සමග විශාල බලපෑමක් වුනා. කලා කරුවා ගොඩක් අද අසරණ වෙලා. ඉස්සර මට මතකයි මම රඟපාපු චිත්‍රපට තුන හතරක් එකවර තිරගත වුනා. බොරැල්ල හන්දියේ තිබුන හැම කටවුට් එකකම මගේ පින්තූරේ තියනවා මම දැකලා තියෙනවා. අන්න එහෙම යුගයක් අපේ සිනමාවට තිබුනා. ඒත් අද තත්වය කනගාටුදායකයි”” වර්ථමාන සිනමාවේ තත්වය ගැන ඇය එලෙස පවසා තිබුනා.

දිල්හානි කියන්නේ නිළියක් වගේම සමාජ ක්‍රියාකාරිනියක් විදියටත් සමාජය වෙනුවෙන් නිහඬ සේවයක් කරන කෙනෙක්. නමුත් පොදු සමාජයේ යහපත වෙනුවෙන් කරන කිසිවක් ප්‍රසිද්දියේ නොකියන්නත් දිල්හානි පරිස්සම් වෙනවා. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේ වැඩිපුර පෙන්න නැති චරිතයක් බවත් බොහෝ දෙනෙක් පවසනවා.  සමාජ මාධ්‍ය හෝ ගොසිප් වලට බය නම් ” ජංගි හොරා” වගේ  චිත්‍රපටයක් රඟපෑම ප්‍රතික්ෂේප කරනු ඇති නමුත් ඇය එවැනි අභියෝගාත්මක පියවර තබන්නටත් සූදානම් චරිතයක්.  ඒ ගැන දිල්හානි මෙසේ පවසනවා.

” සමාජ මාධ්‍යට කරන්න පුළුවන් එකම දේ අපට නින්දා අපහස කරන එක. ඒ ඇරුණම අපිට වෙන කිසිම දෙයක් ලැබෙන් නෑ. මං  ෆෝන් එක පාවිච්චි කරන්නෙත් දෙයක් ඉගෙන ගන්න. ගොඩක් දෙනෙක් බලන් ඉන්නෙම කලාකරුවන් සහ ජනප්‍රිය චරිත වලට Gossip හදන්න. මම ජීවිතේ විඳින්න කැමති කෙනෙක්. හුදෙකලා වෙලා ඉන්නයි විවේක වෙලාවට මගේ කැමැත්ත. මගේ ජිවිතේ මම මිනිස්සුන්ට වඩා සත්තු විස්වාස කරනවා.  මේ රටේ මිනිස්සු සතුටින් නෑ.  මිනිස්සුන්ට නිදහස හම්බුනත් මිනිස්සුන්ගේ මනසට නිදහසක් හම්බෙලා නෑ . මේ රටේ ආර්ථික තත්ත්වය ගොඩක් අගාධයකට යමින් තියෙන්නේ. මිනිස්සු ජීවිතේ විඳවනවා. මෙහෙම ගියොත් රටේ කලාව කියන දේ පොළවට පස් වෙලාම යයි. මේ ඉන්න කාලාකරුවන් අපි රැක ගන්න ඕන, නවකයින්ට ක්ෂේත්‍රයට එන්න අත දෙන්න වැඩපිළිවෙළක් රජය තුළින් බිහි වෙන්න ඕන. යාන්ත්‍රික මනුස්සයෙක් බිහි වෙමින් යන ලෝකේ ඉදිරියෙදි කලාත්මකව හිතන්න මනුස්සයෙක් ඉතුරු වෙන එකක් නෑ . ඒකට පියවරක් ගත යුතු කාලයක් මේක. පාලකයෝ වැරදි කියලා දැන ගන්නත් මොළේ තියෙන්න ඕන. බොහෝ දෙනෙක්මි නිස්සුන්ගේ වැරදි අඩුපාඩු හොයන්න විතරයි දන්නෙ. නමුත් ඒවා හදා ගන්න උපකාර කරන්න කවුරුත් නෑ. මේ හැමදේම වෙනස් වෙන්න ඕන. මිනිස්සු එක විදියට හිතුවොත් මේ රට හදන්න පුළුවන් . කලා ක්ෂේත්‍රය තුළ  ලොකු ගමනක් අපිට යන්න පුළුවන් රටක් මේක.  ඇය වර්ථමාන සමාජ තත්වය පිළිබඳව දැක්වූයේ එවැනි අදහසක්.

 

Share

78 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.