ජොබ්ලස් ඩග්ලස් – ජනප්‍රිය හාස්‍ය රංගන ශිල්පීන් රැසක් එකම චිත්‍රපටයකින්

Avatar Kavinu Weerakkody | June 14, 2024 336 Views 1 Like 0 Ratings

336 Views 0 Ratings Rate it

රොඩ්නි වර්ණකුල, මහින්ද පතිරගේ, නන්දන හෙට්ටිආරච්චි, ජීවන් හඳුන්නෙත්ති, ශිරාන් ශාන්ත, දොන් ගයි වැනි ලාංකීය සිනමාවේ ජනප්‍රිය හාස්‍ය රංගන ශිල්පීන් රැසක් එකම සිනමාපටයකින් දක්නට ලැබෙන්නේ බොහොම කලාතුරකින්…

ඉතින්, කලකට පසුව ඒ අවස්ථාව උදා කරමින් මේ සියලු දෙනාවම, එකම සිනමාපටයක රංගනයෙන් එකතු කර ගන්නට සේනක නවරත්නට හැකියාව ලැබුනා. ඒ ජොබ්ලස් ඩග්ලස් (Jobless Douglas) නවතම සිංහල සිනමාපටය හරහායි.

මේ දිනවල දිවයින පුරා තෝරාගත් සිනමා හල් රැසක ප්‍රදර්ශනය වන ජොබ්ලස් ඩග්ලස් (Jobless Douglas) චිත්‍රපටය පවුලේ සැමට එක්ව නැරඹිය හැකි, සරල කතා තේමාවක් අනුව ගොඩ නැඟුනු විනෝදකාමී සිනමා නිර්මාණයක්.

චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වන ඩග්ලස් හෙවත් ‘ඩගී’ගේ චරිතය නිරූපණය කරන්නේ රොඩ්නි වර්ණකුල විසිනුයි. ඩග්ලස් නාගරික ජන සමාජයක රැකියාවක් අහිමි තරුණයෙක්. පරිගණක තාක්ෂණය පිළිබඳව ඉහළ දැනුමක් තිබුනත් මේ වනතෙක්ම ඔහුට ගැළපෙන රැකියාවක් සොයාගෙන නැහැ. ඩගීගේ පෙම්වතිය වන වෙරෝනිකා, සිය පෙම්වතාගේ විරැකියාව නිසා ඔහුගෙන් මිදීමට මඟක් සොයමින් සිටී.

ඇය ගෙදරින් ගෙනෙන මංගල යෝජනාවකට කැමති වන්නේ මේ අතරතුරේදී යි. මෙයින් සිත්තැවුලට පත්වන ඩගී සිය දිවි නසා ගැනීමට තැත් කරන අතර ගඟකට පැන දිවි තොර කරගැනීමට උත්සාහ දරයි. මෙය දකින දේවතාවෙකු ඩගීගේ ජීවිතය බේරාගෙන ඔහු සමඟින් කාලය හරහා පරිගණක තාක්ෂණය නොමැති ඈත රජ සමයට ගමන් කරයි. ඒ අතීතයේදී පවා ඩගීට සිය වෙරෝනිකාව හමුවුවද, සත්‍ය වශයෙන්ම ඒ සිටින්නේ ඇය නොවෙයි.
එතැන් පටන් ඔහුට සිදුවන විනෝදකාමී – අනපේක්ෂිත සිදුවීම් මාලාව ජොබ්ලස් ඩග්ලස් (Jobless Douglas) චිත්‍රපටයෙන් ඔබට නරඹන්නට පුලුවන්.

චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටයට:

බහුබූතයෝ – සිකුරු හතේ – එතුමයි මෙතුමයි – ගින්දරී – සුහද කොකා වැනි චිත්‍රපට හරහා ඔබ හමුවට පැමිණි රොඩ්නි වර්ණකුල මෙරට සිනමාව, රූපවාහිනිය, සහ වේදිකාව එකලෙසින් ජයගත් ප්‍රවීණ රංගන ශිල්පියෙක්.
ඔහු සමඟින් චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවන්නේ ඩිල්ෂානි පෙරේරා යි. Challengers, උලත් එකයි පිලත් එකයි වැනි සිනමාපට කිහිපයක ඇය දක්නට ලැබුනා.

ඊට අමතරව මහින්ද පතිරගේ, නන්දන හෙට්ටිආරච්චි, ජීවන් හඳුන්නෙත්ති, ශිරාන් ශාන්ත, දොන් ගයි, අනුර ශ්‍රීනාත්, හෙලන් රෙනොල්ඩා, නුවන්දිකා රොද්‍රිගු, මෙවන් මධුසංඛ සහ තුෂාර ජයසූරිය වැනි නලු නිළියන් රැසක්ම මෙහි රංගනයෙන් එක්වනවා.

ජොබ්ලස් ඩග්ලස් (Jobless Douglas) අධ්‍යක්ෂණය සහ තිර පිටපත රචනා කර තිබෙන්නේ සේනක නවරත්නයි. සංස්කරණය ශිල්පියෙකු ලෙස චිත්‍රපට කිහිපයකම කටයුතු කළ ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වන්නේ මේ සිනමාපටයයි.
ලලිත් එස් තෝමස් කැමරාකරණයෙන් සහ අනුර බණ්ඩාර සංස්කරණයෙන් එක්ව තිබෙනවා. සසික රුවන් මාරසිංහ මෙහි ශබ්ද සැලසුම්කරණ ශිල්පියායි. කලා අධ්‍යක්ෂණය ප්‍රියන්ත දසනායකගෙනි. දිලුම් තේජස මෙහි සංගීත අධ්‍යක්ෂකයි.

ජොබ්ලස් ඩග්ලස් (Jobless Douglas) චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ චන්ද්‍රා කුමාරි නවරත්නයි.
රීගල්, PVR ඇතුලු තෝරාගත් සිනමාශාලා රැසකදී ඔබට දැන් මෙම අපූරු සිනමා නිර්මාණය රස විඳීමට හැකියි.

Share

336 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.