මමූති නැවතත් කරළියේ: නවතම සිනමාපටය Christopher
මලයාලම් රංගන ශිල්පී Mammootty ප්‍රධාන චරිත නිරූපණය කරන “Christopher” නැමැති නවතම චිත්‍රපටයේ දර්ශන සියල්ලම අවසන් කොට තිබෙනවා. ඒ කේරළයේ ප්‍රදේශ රාශියක, මාස තුනකට අධික කාලයක් සිදු කෙරුනු රූගත කිරීම්වලට පසුවයි. “Christopher” සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වන B. Unnikrishnan විසින්ම මේ බව තහවුරු කළ අතර දර්ශන සියල්ලම අවසන් කිරීම සඳහා දින 79කට අධික කාලයක් වැය වුනු බවත් ඔහු සඳහන් කර තිබුනා.
මලයාලම් සිනමාවෙන් එදා මෙදාතුර බිහිවූ ජනප්‍රියතම නලුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වන Mammootty, ඉන්දියාව තුළ සිටින ප්‍රවීණතම රංගන ශිල්පියෙකු ද වනවා. ඔහු සිනමාව හා සක්‍රීයව සම්බන්ධ වී දැනට දශක 6කටත් අධිකයි. එමෙන්ම වර්තමානයේ ඉන්දීය සිනමාවේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක ප්‍රධාන චරිතය නිරූපණය කළ රංගන ශිල්පියාට හිමි වාර්තාවට හිමිකම් කියන්නේ ද ඔහුයි. එවැනි දීර්ඝ කාලයක් සිනමාවට සම්බන්ධව සිටින නිසාම, Mammootty වටා එකතු වී සිටින රසිකයින් සංඛ්‍යාව සහ ඔහුගේ චිත්‍රපටයක් නිකුත් වන තෙක් බලා සිටින ප්‍රේක්ෂකයින් ප්‍රමාණය ද අතිශය විශාලයි.
මෙවැනි කරුණු නිසා “Christopher” මලයාලම් චිත්‍රපටයට ලැබී තිබෙන රසික අවධානයත් සුලුපටු නැහැ. මීට මාස කිහිපයකට පෙර Mammoottyගේ චිත්‍රපටයක් ඉන්දීය කෝටි 100 ඉක්මවූ ආදායමක් රැස් කරගන්නටත් සමත් වූ නිසා එම ප්‍රේක්ෂක අවධානය දෙගුණ තෙගුණ වී තිබෙනවා. මෙනිසාම, මලයාලම් සිනමාවට සම්බන්ධ චිත්‍රපට විචාරකයින් බොහෝ දෙනෙකු සඳහන් කරන්නේ ඔහුගේ මේ Christopher චිත්‍රපටයත් දැඩි ආයාසයකින් තොරව කෝටි 100කට ආසන්න ආදායමක් ලබා ගනු ඇති බවටයි.
“We finished filming Christopher at 2 am today. 79 days of shoot. Mammukka was playing out Christopher for 65 days. Thank you, Mammukka.
A big thank you to everyone of my cast and crew,”
සමාජ මාධ්‍ය සටහනක් තබමින් සිනමාපටයේ රූගත කිරීම් අවසන් වූ බව, අධ්‍යක්ෂක B. Unnikrishnan විසින් සිය රසිකයින්ට දැනුම් දුන්නේ එලෙසයි. නමුත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟන මමූතිට අයත් දර්ශන සියල්ලම අවසන් වූයේ දැනට සති කිහිපයකට පෙරදීයි. Christopher හි රූගත කිරීම් සිදු වූ දින 79ක කාල සීමාවෙන්, දින 65ක්ම මමූතිගේ චරිතයට වෙන්ව තිබූ බවත් සඳහන්.
ක්‍රියාදාම ශානරයට අයත් මේ නවතම සිනමාපටයේදී Mammootty නිරූපණය කරන්නේ පොලිස් නිලධාරියෙකුගේ චරිතයයි. එම චරිතයේ නම Christopher IPS බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබෙනවා. කාන්තාවක් වටා ගෙතුනු අභිරහසක් පසුපස හඹායන පොලිස් විමර්ශන නිලධාරීන් පිරිසකුයි මෙම චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ. මමූතිට අමතරව Aishwarya Lekshmi, Shine Tom Chako, Dileesh Pothan, Sneha වැනි ජනප්‍රිය මලයාලම් නලු නිළියන් කිහිප දෙනෙක්ම මීට රංගනයෙන් එක් වනවා. එමෙන්ම සුරූපී දමිළ නිළි Amala Paul ද දිගු කලකට පසුව නැවතත් මලයාලම් සිනමාවට එක් වන්නේ මේ නිර්මාණය හරහායි.
තමිල්නාඩුවේ ජනප්‍රිය ප්‍රාන්තීය නලුවෙකු වන Vinay Raiගේ පළමු මලයාලම් සිනමා ආගමනයත් “Chirstopher” තුළින් දැකගත හැකියි.
තිරපිටපත පිළිබඳ අවසන් සාකච්ඡා වටවලින් අනතුරුව මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹුනේ පසුගිය ජුලි 10 වනදායි. ජුලි 18 වනදා සිට මමූති රඟන දර්ශනවල රූගත කිරීම් ආරම්භ කළ අතර එර්නාකුලම්, වන්ඩිපෙරියාර් වැනි කේරළයේ ප්‍රදේශ ගණනාවක්ම චිත්‍රපටය සඳහා යොදා ගෙන තිබෙනවා.
Christopher රචනා කොට තිබෙන්නේ කේරළයේ සිටින ජනප්‍රියම තිර පිටපත් රචකයෙකු වන Udayakrishna විසිනුයි. මලයාලම් සිනමාවේ කෝටි 150 ආදායම් සීමාව පසු කළ පළමු චිත්‍රපටය ලෙස හැඳින්වෙන Pulimurugan ඔහුගේ රචනයක්. ඊට අමතරව Arattu, Monster, Anakkallan වැනි තවත් ප්‍රසිද්ධ දකුණු ඉන්දීය චිත්‍රපට ගණනාවක්ම උදයක්‍රිෂ්ණා විසින් රචනා කොට තිබෙනවා. උදයක්‍රිෂ්ණා මින් පෙර රචනා කළ Madhura Raja, Masterpiece චිත්‍රපට ද්විත්වයේම ප්‍රධාන චරිත රඟපෑවේ මමූති විසිනුයි. එමෙන්ම ඒවා ඔහුගේ රංගන ජීවිතයේ සාර්ථකම නිර්මාණ ද්විත්වයක් ලෙසට අදටත් පිළි ගැනෙනවා.
වාර්තා වන අන්දමට මෙම Chirstopher සිනමාපටයට පාදක වී තිබෙන්නේ මෑත කේරළ ඉතිහාසය තුළ සිදු වූවා යැයි සැලකෙන සත්‍ය සිද්ධි දාමයක්. නමුත් ඒ ගැන වැඩිදුර විස්තරයක් තවමත් අණාවරණය වී නැහැ.
“Chirstopher” චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන B Unnikrishnanව හඳුන්වන්නේ වර්තමාන කේරළයේ සිටින සාර්ථකම වාණිජ – චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙසටයි. ත්‍රිලර් සහ ක්‍රියාදාම ශානරයේ චිත්‍රපට සඳහා ජනප්‍රිය වී සිටින ඔහු මේ වනවිට නිර්මාණ 10කට අධික ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කොට තිබෙනවා. නව රැල්ලේ මලයාලම් සිනමාවේ ජනප්‍රියතම ත්‍රිලර් චිත්‍රපට කිහිපයක් වන Grandmaster, Villain, The Thriller සහ Mr Fraud ආදිය ඔහුගේ නිර්මාණ අතුරින් කිහිපයක්…
Faiz Siddik විසින් Chirstopher සිනමාපටයේ කැමරාකරණය හසුරුවන අතර චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරන්නේ Justin Verghese විසිනුයි. අධ්‍යක්ෂණයට අමතරව මෙහි නිෂ්පාදනය සඳහාත් B. Unnikrishnan එක්ව සිටිනවා. ඒ ඔහුගේ RD Illuminations චිත්‍රපට නිෂ්පාදන ආයතනය යටතේයි.
මේ වනවිට චිත්‍රපටයේ සංස්කරණය සහ පසු නිෂ්පාදන කටයුතු ඇරඹී තිබෙන අතර, බොහෝදුරට එළඹෙන වසරේ මැද භාගයේදී මෙය ලෝ පුරා සිනමා ශාලාවලට නිකුත් විය හැකියි.
Written by Kavinu Weerakkody