රූකඩ පැංචි නොමිලේ නරඹන්න අවස්ථාවක්
වින්දන සහ කල්පන ආරියවංශ අධ්‍යක්ෂණය කළ “රූකඩ පැංචි” චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා තිරගත වනවා. මේ චිත්‍රපටය ළමයින් වෙනුවෙන් නිර්මාණය වුන අපූරු සිනමාපටයක් වුනත්, වැඩිහිටියනුත් අනිවාර්යෙන්ම නැරඹිය යුතු බව බොහෝ දෙනෙකුගේ අදහස වී තිබෙනවා. චිත්‍රපටය නොමිලේ නැරඹීමේ අවස්ථා කිහිපයක් ලබාදීමට නිෂ්පාදක කණ්ඩායම සහ EAP සමාගම එක්ව තීරණය කොට තිබෙනවා. මේ පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්වුනා.
පසුගිය කාලයේ රටපුරා පැතිරගිය COVID-19 අවධානම මැඩපැවැත්වීම වෙනුවෙන් සිය වෘත්තීය ජීවිතය කැපකල පිරිස් මේ යටතේ ප්‍රමුඛත්වයේ සැලකෙනවා. සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ට චිත්‍රපටය නොමිලේ නැරඹීමේ අවස්තාව හිමිවනු ඇති. එසේම ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලුම ආරක්ෂක අංශ සාමාජිකයින්ටද රූකඩ පැංචි නොමිලේ තිරගත කෙරෙනවා. චිත්‍රපටය පිලිබඳ මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරමින් සහයෝගය ලබාදෙන මාධ්‍යවේදීන් වෙනුවෙන්ද දිවයින පුරා සිනමාහල් වල රූකඩ පැංචි නොමිලේ තිරගත කිරීමට නිෂ්පාදක කණ්ඩායම කටයුතු කොට තිබෙනවා.
එසේම ලෝක ළමා දිනය නිමිති කොටගෙන ඔක්තෝබර් 02 වැනිදා දවස පුරා වයස අවුරුදු 12ට අඩු සියළුම ළමුන් වෙනුවෙන් චිත්‍රපටය නොමිලේ තිරගත කෙරෙනවා. මේ අවස්ථාව උදාකරගෙන රූකඩ පැංචි අපූරු ළමා චිත්‍රපටය රසවිඳින ලෙස ආරියවංශ සොහොයුය්රන් ඔබට ඇරියුම් කරනවා.
Written by Nisanka Weheraduwa