“හිතුමතේ ජීවිතේ” ඩකා අන්තර්ජාතික සිනමා උළෙලට

Avatar Nisanka Weheraduwa | December 7, 2020 96 Views 0 Likes 1 On 1 Rating

96 Views 1 On 1 Rating Rate it

සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි

උදේනි සමන් කුමාර ලියූ ‘හිතුමතේ ජීවිතේ’ නවකතාව පාදක කොටගනිමින්, ක්‍රිශාන්ත මනම්පේරි නිර්මාණය කළ හා විහාරා සමරසිංහ නිෂ්පාදනයන කළ ‘හිතුමතේ ජීවිතේ’ සිනමාපටය එළඹෙන 2021 වසරේ ජනවාරි මස 16 සිට 24 දක්වා බංගලාදේශයේ ඩකා නුවරදී පැවැත්වෙන 19 වෙනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙල (Dhaka International Film Festival) නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත.
කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් ඩකා සිනමා උළෙල මෙවර හයිබ්රිඩ් ක්‍රමයට (Hybrid Format= Theatrical Screenings+ Online Screenings) පැවැත්වීමට නියමිත අතර, එහිදී රටවල්ක් 65 ක් නියෝජනය කරමින් සිනමාපට 226 ක් ප්‍රදර්ශනය කිරීමට නියමිතය. 2020 වසරේ පැවති ඩකා සිනමා උළෙලේ ශ්‍රී ලාංකේය සිනමාපට 05 ක් තිරගත වුවද, 2021 වසරේ ඩකා උළෙල නියෝජනය කරන එකම ශ්‍රී  ලාංකේය සිනමාපටය ‘හිතුමතේ ජීවිතේ’ වේ. එසේම ‘හිතුමතේ ජීවිතේ’ චිත්‍රපටය නියෝජනය කිරීමට නියමිත පළමු අන්තර්ජාතික සිනමා උළෙල ඩකා සිනමා උළෙල වේ.
සිනමා අංශ 10 කින් (Asian Competition, Women Filmmakers Competition, Spiritual Films, Cinema of the World, Children Films, etc..) ඩකා සිනමා උළෙලේ 19 වෙනි අදියර සමන්විත වන අතර, ‘හිතුමතේ ජීවිතේ’ සිනමාපටය ‘ලෝක සිනමා අංශය’ (Cinema of the World) නම් වූ තරගකාරී නොවන අංශය යටතේ තිරගතවීමට නියමිතය.
දශක තුනකට ආසන්න ඉතිහාසයට හිමිකම් කියන ඩකා සිනමා උළෙල නියෝජනය කරන 23 වෙනි ශ්‍රී  ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ‘හිතුමතේ ජීවිතේ’සිනමාපටය වේ. 1992 වර්ෂයේදී ආරම්භ වූ ඩකා අන්තර්ජාතික සිනමා උළෙල, වත්මන් දකුණු ආසියානු කලාපය තුළ සක්‍රීයව පවතින උළෙල අතුරින් සිව්වන පැරණිතම අන්තර්ජාතික සිනමා උළෙල ලෙසට සැලකේ.
දිනෙත් ද සිල්වා, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියංකර රත්නායක, ජයනි සේනානායක, කුමාර තිරිමාදුර, ,මාරියන් වෙත්තසිංහ, දමිතා අබේරත්න, ගිහාන් ප්‍රනාන්දු, ජගත් චමිල, පාලිත සිල්වා,සරත් චන්ද්‍රසිරි, අනුරුද්ධිකා පාදුක්කගේ, හර්ෂිකා රත්නායක යන අයගේ රංගනයෙන් හැඩවෙන ‘හිතුමතේ ජීවිතේ’ චිත්‍රපටයේ තිර රචනය ඉන්දික අතුල ප්‍රියන්ත ගෙනි. කැමරාකරණයෙන් නිශාන්ත ප්‍රදීප්, සංස්කරණයෙන් රුක්මල් නිරෝෂ්, සංගීත අධ්යක්ෂණයෙන් සාගර විජේසිංහත්, කලා අධ්යක්ෂණයෙන් රංජිත් ද සිල්වාත්, ශබ්ද සංයෝජනයෙන් හා වර්ණ සංකලනයෙන් දිලාන් ගුණවර්ධන, ඇඳුම් නිර්මාණයෙන් රම්යා රණසිංහ, අංග රචනයෙන් ප්‍රියන්ත ඊශ්වර, විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග වලින් ජයසිංහ වීරක්කොඩි, නිෂ්පාදන කළමණාකරණයෙන් විරාජ් වර්ණසූරිය, රේඛීය නිෂ්පාදනයෙන් ප්‍රියංකර රත්නායක සහ විධායක නිෂ්පාදනයෙන් චන්දිමාල් පොල්කොටුව ‘හිතුමතේ ජීවිතේ’ චිත්‍රපටයට දායකත්වය ලබා දී ඇත.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි
Share

96 Views 1 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.