ශ්‍රීදේවිගේ දේහය ආදාහනාගාරය වෙත ගෙනයයි – රාජ්‍ය ගෞරව සහිත අවමගුලක්
ඉන්දීය නිළි ශ්‍රීදේවි කපුර්ගේ අභාවයෙන් ඉන්දීය සිනමා රසිකයින් මෙන්ම සමස්ථ ඉන්දීය රටවැසියන් කම්පාවට පත්ව තිබෙනවා. ඊයේ ඇගේ සිරුර මුම්බායි නගරය වෙත ගෙන ආ මොහොතේ සිට අති විශාල ජනතාවක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා. මේ වනවිට (02/28 සවස 2.30) ඇගේ දේහය ආදාහනාගාරය වෙත ගෙන යමින් තිබෙනවා. අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිත සිදු කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පොලිස් තුර්ය වාදක කණ්ඩායම් පැමිණ ඇගේ දේහය ඉදිරිපිට තුර්ය වාදනයන් ඉදිරිපත් කොට තිබෙනවා. එසේම ජාතික වර්ණ ත්‍රිත්වයෙන් ඇගේ දේහය ආවරණය කළ බවත් සඳහන්. ඇය වඩාත් ප්‍රියකළ මජෙන්ටා, රෝස පැහැති රන්වන් පාට බෝඩරයක් සහිත කන්ජිපුරම් සාරියකින් සිරුර සරසා තිබුණු බව සඳහන්. මේ වනවිට දේහය රැගත් මලින් සැරසූ ට්‍රක් රථය නිවසින් පිටත්ව ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එම රථයේ කපූර් පවුලේ සාමාජිකයින්ද ගමන් කරමින් සිටියා. කෙසේ නමුත් මේ කිසිවක සමීප දර්ශන ලබා ගැනීමට කිසිවකුටත් අවසර නැහැ.
Written by Nisanka Weheraduwa
