සියදිවි නසාගැනීම් වළකාලීම උදෙසා සිනමාව
ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ සමාජයන්හි පවතින සමාජ ගැටළු අතර සියදිවි නසාගැනීම ප්‍රධාන තැනක් ගන්නවා. විවිධ ප්‍රශ්න වලට මුහුණපාන පුද්ගලයින් සිය අවසාන විසඳුම ලෙස ජීවිතයට හානිකරගැනීම තෝරා ගන්නේ වෙනත් විසඳුම් නැති නිසාම නොවෙයි. වෙනත් විසඳුමක් සොයාගත හැකි මාර්ග පිලිබඳ නොදැනුවත්කම නිසා. එවන් කරුණු පිලිබඳ නිසි මගපෙන්වීම් සිදු නොවන නිසා. උපදේශන සේවා නිසි අයුරින් ක්‍රියාත්මක නොවන නිසා. ශ්‍රී ලංකාවෙත් මෙම සියදිවි නසාගැනීමේ තත්වයන් පාලනය කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. සියදිවි නසාගැනීම් පාලනය කිරීම පිලිබඳ දැනුවත් කිරීම උදෙසා චිත්‍රපට දැක්මක් සංවිධාන වෙන්නේ ඒ අයුරිනුයි.
සැප්තැම්බර් 10 වැනි සඳුදා දිනයේ මම චිත්‍රපටි දැක්ම පැවැත්වීමට කටයුතු සංවිධාන කොට තිබෙනවා.
මේ යටතේ කෙටි චිත්‍රපට දෙකක් සහ වෘතාන්ත චිත්‍රපටයක් තිරගත කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම චිත්‍රපට ත්‍රිත්වය තිරගත කිරීම සිදු කෙරෙනවා.
සැප්තැම්බර් 10 වැනිදා උදේ 11.00ට Krzysztof Kieslowski ඉසින් නිර්මාණය කල Love කෙටි චිත්‍රපටය තිරගත කෙරෙනවා. මෙය 1998 වසරේ නිර්මාණය කළ මිනිත්තු 90ක ධාවන කාලයකින් යුතු කෙටි චිත්‍රපටයක්.
එදින සවස 1.30ට Graham Barreil අධ්‍යක්ෂණය කළ Down කෙටි චිත්‍රපටය තිරගත කෙරෙනවා. 2017 වසරේ නිර්මාණය කොට ඇති මේ කෙටි චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 20ක්.
සවස 2.30 තිරගත කෙරෙන්නේ වෘතාන්ත චිත්‍රපටයක්. ඒ Tony Kaye විසින් අධ්‍යක්ෂණය කළ Detachment චිත්‍රපටයයි. විනාඩි 100ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය තිරගත කිරීමෙන් පසුව සිනමා සංවාදයක් පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ආචාර්ය නීල් ප්‍රනාන්දු, වසන්ත කොටුවැල්ල සහ චාන්දනී සෙනෙවිරත්න යන විද්වත් මණ්ඩලය මේ සිනමා සංවාදයට සහභාගී වීමට නියමිතයි. චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව මෙම වැඩසටහන මෙහෙයවනු ඇති.
සිනමාව හරහා සමාජ අවධානයෙන් ගිලිහිගිය මාතෘකාවක් පිළිබඳව සංවාදයට එළඹීමට සහ නිර්මාණ රසවිඳීමට සිනමලෝලි සැමට ඇරියුම් කර සිටිනවා.
Written by Nisanka Weheraduwa

