Atharvaa Murali ගේ රංගනයෙන් දමිළ බසට හැරවෙන Anjaam Pathiraa.
පසුගිය වසර දෙක තුනක කාලය තුළදී මලයාලම් සිනමාවෙන් එකපාරටම Thriller රැල්ලක් ඇති වෙන්න ගත්තා. Anjaam Pathiraa වගේ චිත්‍රපටි අයිති වෙන්නේ ඒ රැල්ලේ ආරම්භයට. වෙනත් විදිහකින් කිව්වොත් 2020 මුල් භාගයේ රිලීස් වුණු Anjaam Pathiraa වගේ චිත්‍රපටි තමයි ඒ රැල්ල ආරම්භ කරන්නේ. මේ සුප්‍රසිද්ධ මලයාලම් සිනමාපටයේ බෙංගාලි ප්‍රතිනිර්මාණයේ වැඩ කටයුතු මේ වනවිට පටන් ගෙන අවසානයි. මෙයම හින්දි බාසාවට remake වෙන්නට ඉඩ තියෙන බවටත් කාරණා කියැවෙනවා. ඒ අතරේදී ලැබුණු අලුත්ම ආරංචිය තමයි Anjaam Pathiraa චිත්‍රපටියේ මේ දමිළ ප්‍රතිනිර්මාණය ගැන තොරතුරු.
Anjaam Pathiraa සිනමාපටයේ දෙමළ ප්‍රතිනිර්මාණය සඳහා තරුණ නළු Atharvaa Murali ගිවිසුම් ගත වෙලා තියෙන බව ඉන්දීය සිනමා වෙබ් අඩවි වාර්තා කරනවා. මුල් මලයාලම් නිර්මාණයේදි නම් ප්‍රධාන චරිතය, Dr. Anwar Hussainව නිරූපණය වුණේ මැදි වයස පුද්ගලයෙක් හැටියට. හැබැයි දමිළ ප්‍රතිනිර්මාණයේදී ඒ තත්වය වෙනස් වන අයුරකුයි තියන්නේ. Paradesi, Muppozhudhum Un Karpanaigal, Kanithan සහ Imaikka Nodigal වැනි සිනමාපට තුළින් සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගත් Atharvaa දමිළ සිනමාවේ මතු බලාපොරොත්තු තැබිය හැකි නළුවෙක්.
ඒ වගේම, මෙම Tamil Remake නිර්මාණයේ සෙසු නළු නිළි පිරිස සහ අධ්‍යක්ෂකවරයා කවුරුන්ද යන වග තවමත් මාධ්‍යයට අනාවරණ වෙලා නැහැ. Anjaam Pathiraa කියන්නේ මෑතකාලීන මලයාලම ඇතුළේ සලකුණු තබපු චිත්‍රපටියක්. අතිශය අවම පිරිවැයකින් නිපදවුණු සිනමාපටයේ සිනමාශාලා ප්‍රදර්ශනය අවසාන වෙද්දි සම්පූර්ණ ආදායම ඉන්දීය කෝටි 55ත් පහු කරලා. Midhun Manuel Thomasගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වුණු මේ මලයාලම් සිනමාපටයේ ප්‍රධාන චරිතය රඟ දැක්වුවේ Kunchacko Boban විසින්. චිත්‍රපටය කෙතරම් සාර්ථක වුණාද කිවුවොත්, මේ වෙද්දි නිෂ්පාදකවරු සීක්වල් චිත්‍රපටියක් ගැනත් තහවුරු කරලා ඉවරයි. Kunchacko Bobanගේ රංගන ජීවිතයේ වැඩිම ආදායම් ලැබූ සිනමාපටය වුණෙත් Anjaam Pathiraaමයි.
පොලිස් නිලධාරීන්ව ඉලක්ක කරගනිමින් සිදු වන ඝාතන රැල්ලක් විසඳීමට මැදිහත් වෙන අපරාධ විශ්ලේෂකයෙකු වටා ගෙතෙන මේ කතාව, ලංකාවේ අපේ ප්‍රේක්ෂකාගාරයටත් බොහොම සමීප වූවා. ඉතින් මේ iconic මලයාලම් චිත්‍රපටිය සාර්ථකව දෙමළ බසට ප්‍රතිනිර්මාණය කරන්නට ඔවුන්ට හැකි වෙයිද? අපරාධ විශ්ලේෂක අන්වර් හුසේන්ව හොඳින් මතු කරගන්නට Atharvaa Murali සමත් වෙයිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නට නම් අපට තව කෙටි කාලයක් ඉවසන්නටම සිදු වනවා.
Written by Nisanka Weheraduwa