දමිළ සිනමාවේ Next – Super Star සිවකාර්තිකෙයන්ද?

Avatar Kavinu Weerakkody | September 27, 2023 77 Views 0 Likes 0 Ratings

77 Views 0 Ratings Rate it

Ghajini – Holiday – Akira වැනි හින්දි චිත්‍රපට සහ Dheena – Kaththi – Thuppakki – Sarkar වැනි ජනප්‍රිය දමිළ චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ තමිල්නාඩු වාණිජ සිනමාවේ පෙරළියක් සිදු කළ අධ්‍යක්ෂකවරයෙකු තමයි A R Murugadoss නමින් හැඳින්වෙන්නේ.
කලෙක තමිල්නාඩු ප්‍රන්තය මුල් කරගත් දමිළ වාණිජ සිනමාවේ සිටි ප්‍රමුඛතම සිනමා අධ්‍යක්ෂකවරයාව සිටි ඔහු විජෙයි, සූරියා වැනි නලුවන් බොහෝ දෙනෙකුගේ රංගන ජීවිතයේ සුවිශේෂීම චිත්‍රපටවල නිර්මාණකරුවායි.

2001 වසරේදී Dheena දමිළ චිත්‍රපටයෙන් අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු 2005 වසරේදී, සිය තුන්වන චිත්‍රපටය වූ Ghajini හරහා සමස්ත දකුණු ඉන්දියාවේම කතාබහට ලක්වුනා. දමිළ නලු සූරියා විසින් ප්‍රධාන චරිතය නිරූපණය කළ එම සිනමාපටයට උතුරු ඉන්දියානු රසිකයින්ගෙන් හිමිවූයේත් උණුසුම් ප්‍රතිචාරයක්.
පසුව 2008 වසරේදී එය නැවතත් හින්දි බාසවට ප්‍රතිනිර්මාණය කළ අතර හින්දි Ghajini සිනමාපටයේ ප්‍රධාන චරිතය හිමිවුනේ ජනප්‍රිය බොලිවුඩ් නලු Aamir Khanටයි. ආමීර් ඛාන්ගේ සිනමා ජීවිතයේ සුවිශේෂීම කඩඉමක් මෙන්ම; රසික අවධානයෙන් ඔහුව ගිලිහී යමින් සිටි අවස්ථාවක ක්ෂේත්‍රය තුළ නැවතත් ස්ථාවර වෙන්නට හේතූ වූ නිර්මාණයක් ලෙසට අදටත් Ghajini (2008) චිත්‍රපටය සැලකෙනවා.

මුල් දමිළ චිත්‍රපටයට එහා ගිය සාර්ථකත්වයක් ලබා ගන්නට ආමීර් ඛාන් රඟපෑ එම හින්දි චිත්‍රපටයට හැකියාව ලැබුනු අතර ඉන්දීය කෝටි 200 ඉක්මවා ගිය ආදායමකුත් රැස් කරගත්තා. එය එවකට හින්දි චිත්‍රපටයක් ලැබූ ඉහළම ආදායම ද වනවා.

දකුණු ඉන්දියාවේ, තමිල්නාඩුවෙන් පැමිණි සිනමාකරුවෙක් මෙලෙස බොලිවුඩයේ ම අවධානය දිනාගත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමත් සමඟ, ඒ අධ්‍යක්ෂකවරයා ගැනත් උතුරු ඉන්දියාවේ කතාබහක් ඇති වුනා. සිනමා රසිකයින් සහ නිෂ්පාදනය ආයතන A R Murugadossට තවත් බොලිවුඩ් චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කරන්නට ආරාධනා කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් ඔහු සහ Shah Rukh Khanගේ සුසංයෝගයෙන් බිහි වන චිත්‍රපටයකත් වැඩ කටයුතු ඇරඹුනා.
ශාරුක් ඛාන් සමඟින් තිර පිටපත ගැන සාකච්ඡා වට කිහිපයකුත් පැවැත්වුනු අතර මුලදී Shah RUkh Khan පාර්ශවයෙක් චිත්‍රපටයට ලබා දී තිබුනේත් ධනාත්මක ප්‍රතිචාරයක්. නමුත් ඉන්පසුව හටගත් නිර්මාණත්මක වෙනස්කම් සහ තවත් හේතූ කිහිපයක් නිසා එම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු එක්වරම ඇණ හිටියා.

අවසානයේදී Shah Rukh Khan මෙම නිර්මාණය මඟ හරමින් වෙනත් චිත්‍රපට කිහිපයක් තෝරාගත් අතර Murugadoss ද බොලිවුඩය හැරදා තමිල්නාඩුවෙ හි දමිළ සිනමා කර්මාන්තයට නැවතත් සම්බන්ධ වුනා. තලපති විජෙයිගේ සිනමා ජීවිතයේ විශාල වෙනසක් සිදු කරමින්, ඔහුට තිබුනු රසික ආකර්ෂණය අතිශය ඉහළ දැමූ Thuppakki (2012) සහ Kaththi (2014) නිර්මාණය කෙරෙන්නේ ඉන් අනතුරුවයි.

Murugadoss විසින් අධ්‍යක්ෂණය කළ Thuppakki – Kaththi දමිළ චිත්‍රපටවලින් අනතුරුව ඔහුගේ කිසිදු කිසිදු සිනමාපටයක් ආදායම් වාර්තා අතින් හොඳ සාර්ථකත්වයක් ළඟා කරගත්තේ නැහැ. Kaththi චිත්‍රපටයට පසුව ඔහු අධ්‍යක්ෂණය කළ Sypder – Sarkar – Darbar යන චිත්‍රපට සියල්ලම මූල්‍යමය අතින් පාඩු සිදු වූ නිර්මාණයි.

එකපෙළට තමන් අධ්‍යක්ෂණය කළ සිනමාපට ත්‍රිත්වයක්ම අසාර්ථක වීමෙන් පසුව Murugadoss සිනමාවෙන් යම් තාක් දුරකට විවේකයක් ලබාගත්තා.2020 වසරේදී අවසන් වතාවට අධ්‍යක්ෂණය කළ, රැජිනිකාන්ත් රඟපෑ Darbar දමිළ චිත්‍රපටයෙන් පසුව මේ වනතෙක් ඔහුගේ කිසිදු අලුත් නිර්මාණයක වැඩ කටයුතු ඇරඹී නැහැ.

කෙසේ වුවත් එම දිගු නිහැඬිතාව අවසන් කරමින්, වසර 03කට පසුව හෝ යළිත් චිත්‍රපට අධ්‍යක්ෂණයට එකතු වන්නටයි Murugadoss නැවතත් සූදානම් වන්නේ… ඒ 2008 – 2009 කාල වකවානුවේදී ශාරුක් ඛාන් මඟින් සිදු කරන්නට ගිය චිත්‍රපටයේ පිටපත සමඟයි. මෙවර එම තිර පිටපතේ යම් වෙනස්කම් කිහිපයක් සිදු කරමින්, වර්තමානයට ගැළපෙන පරිදි සූදානම් කර, ජනප්‍රිය දමිළ නලුවෙකු යොදාගෙන චිත්‍රපටයේ රූගත කිරීම් අරඹන්නට Murugadoss සැලසුම් කරමින් සිටින බව පසුගිය කාලයේදී විවිධ මාධ්‍ය රැසක්ම වාර්තා කළා.
එහි ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට අවස්ථාව ලැබී තිබෙන්නේ දමිළ නලු සිවකාර්තිකෙයන් (Sivakarthikeyan) හෝ සිලම්බරසන් (STR) දෙදෙනාගෙන් අයෙකු හට බවයි ඔවුන් පැවසූයේ.

එම ප්‍රවෘත්තිය සත්‍යයක් කරමින්, සිය අලුත්ම කොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට සිවකාර්තිකෙයන් ගිවිසුම්ගත වූ බව Murugadoss නිල වශයෙන්ම පසුගියදා තහවුරු කළා. ඒ ඔහුගේ උපන් දිනයට සමගාමීවයි. එම අවස්ථාවේදී දමිළ නලු සිවා සමඟින් ගත් ඡායාරූප කිහිපයක් ද සමාජ මාධ්‍ය හරහා බෙදාගන්නට ඔහු අමතක කළේ නැහැ.

කොලිවුඩ් සිනමාවෙ හි, වර්තමාන පරපුරේ සිටින ප්‍රමුඛතම රංගන ශිල්පියෙකු වන සිවකාර්තියෙන් නලුවෙකු – පසුබිම් ගායකයෙකු – නිෂ්පාදකවරයෙකු – සහ ගී පද රචකයෙකු වශයෙන් ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයට පත්ව සිටිනවා. Don, Doctor, Maaveeran වැනි ඔහුගේ පසුගිය කාලයේ චිත්‍රපට සියල්ලම පාහේ අතිශය සාර්ථකත්වයට පත්වුනා.

චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය රඟපාන්නේ Sita Ramam තෙළිඟු සිනමාපටය හරහා පසුගිය සමයේදී අතිශය ජනප්‍රියත්වයට පත් වූ Mrunal Thakur විසිනි. මෙය ඇය රංගනයෙන් එක්වන පළමු දමිළ චිත්‍රපටයයි.

තවමත් නිශ්චිත නමක් යෝජනා වී නොමැති මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරන්නේ මේ වකවානුවේදී දකුණු ඉන්දියාවේ සිටින කාර්යබහුලම සංගීත අධ්‍යක්ෂකවරයා වන Rockstar Anirudh Ravichander විසිනුයි. Don, Doctor වැනි සිවකාර්තිකෙයන්ගේ පෙර චිත්‍රපට ගණනාවකටම ඔහු සංගීත අධ්‍යක්ෂණයෙන් එකතු වී තිබෙනවා.
තෙළිඟු චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන N.V. Prasad විසින් මෙම සිනමාපටය නිෂ්පාදනය කරන අතර මීට පෙරදී මුරුගදෝස්ගේ Sypder සිනමාපටය නිෂ්පාදනය කළේ ද ඔහුයි.

Murugadoss සහ Sivakarthikeyan එකතුවෙන් නිර්මාණය වන මෙම චිත්‍රපටයේ රූගත කිරීම් මෙම වසර අග භාගයේදී පටන් ගැනීමට නියමිතයි. සිවකාර්තිකෙයන් මේ දිනවල ඔහුගේ නවතම චිත්‍රපටය ‘SK21’ හි, රූගත කිරීම් නිසා කාර්යබහුලව සිටින අතර එය ඉන්දු-පාකිස්ථානු දේශ සීමාවට යාබද කාශ්මීර් ප්‍රදේශය මුල් කොටගත් යුධමය චිත්‍රපටයක්. ප්‍රවීණ දමිළ නලු කමලාසන්ගේ Raaj Kamal International ආයතනය හරහා නිෂ්පාදනය වන එම දැවැන්ත චිත්‍රපටයේ සායි පල්ලවී ද රංගනයෙන් දායක වනවා.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ වැනි Rajkumar Periyasamy විසිනුයි.

ඊට අමතරව බොහෝ කාලයක් තිස්සේ තිරගත වීමට නියමිතව තිබෙන, සිවකාර්තිකෙයන්ගේ Ayalaan සිනමා නිර්මාණයත් එළඹෙන දීපවාලි උත්සවයට සමගාමීව ලෝ පුරා සිනමා හල්වලට නිකුත් වීමට නියමිතයි. 2016දී නිෂ්පාදන කටයුතු ඇරඹුණු එය, පිටසක්වළ ජීවීන් හා සම්බන්ධ සිද්ධි දාමයක් වටා ගෙතෙන Sci – Fi ශානරයේ චිත්‍රපටයක්.
වාර්තා වන අන්දමට Ayalaan චිත්‍රපටය තුළ 4500කට අධික visual effects shots ප්‍රමාණයක් තිබෙන අතර එය මෙතෙක් ඉතිහාසයේ ඉන්දියානු චිත්‍රපටයක් තුළ දැකගත හැකි වැඩිම visual effects දර්ශන ප්‍රමාණය ද වනවා.

Share

77 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.