වාල්මිකීගේ රාමායණයට රන්බීර් කපූර් පණ පොවයි

Avatar Kavinu Weerakkody | April 7, 2024 83 Views 0 Likes 5 On 1 Rating

83 Views 5 On 1 Rating Rate it

ඉන්දියාව ඈත අතීතයේ සිටම විවිධ සම්ප්‍රදායන්ගෙන් – සංස්කෘතීන්ගෙන් පොහොසත් කලාපයක් වගේම තම සංස්කෘතික අංග උපරිමයෙන්ම කලාව සහ සාහිත්‍යය වෙනුවෙන් යොදාගත් ප්‍රදේශයක්. භූගෝලීය වශයෙන් ඉන්දියාවේ දැවැන්තබාවය නිසාම එකිනෙකට වෙනස් සංස්කෘතිකාංග රැසක් එම කලාපය පුරාම දක්නට ලැබෙනවා. උතුරු ඉන්දියාව වගේම දකුණු ඉන්දියාවත් මෙලෙස තමන්ට ම ආවේණික සංස්කෘතික ලක්ෂණ – දේව සංකල්ප – ජනප්‍රවාදවලින් හෙබියි.

බොහෝ කාලයක පටන් ඔවුන්ගේ ලේඛන කලාව, සිනමාව සහ වෙනත් කලා ශිල්ප කෙරෙහි මෙම සංස්කෘතික ලක්ෂණවල බලපෑම ඍජුවම දක්නට ලැබෙනවා. තම සංස්කෘතිය සහ ආගම තුළ තිබෙන දේව සංකල්ප – ජනප්‍රවාද ආදිය සිනමාව.. ලේඛනය සහ පද්‍ය රචනය.. වැනි කලා අංග ඔස්සේ එළිදක්වන්නට කටයුතු කරනවා වගේම; මෙතුළින් ඔවුන් සාහිත්‍යයේ වර්ධනය සඳහා විශාල දායකත්වයක් ලැබී තිබෙනවා.

ඉන්දියානු සිනමාව තුළ මෙවැනි දේව සංකල්ප සහ සංස්කෘතික ජනප්‍රවාදයන්ගෙන් උපුටා ගත් කතා ඇසුරෙන් නිපදවූ චිත්‍රපට බොහොම සුලබයි. මහාභාරතය – සිව සංකල්පය – අධිරජ අශෝකගේ කතා පුවත වැනි ජනප්‍රවාද රැසක් ඉන්දියානු සිනමාවේ සහ ඉන්දියානු රූපවාහිනියේ අදටත් දැකගන්නට පුලුවන්.

රාමායණය ලෙසින් හැඳින්වෙන්නේ ද ඉන්දියාව තුළ ඉතා ජනප්‍රිය මෙවැනිම දේව පුරාවෘත්තයක්. ඉන්දියාව තුළ පමණක් නොවෙයි; ලෝ වටා සිටින හින්දු භක්තිකයින් අතරෙ හි වැඩියෙන්ම ගෞරවාදරයට පත් වන දේව කතාව ලෙසින් හැඳින්වෙන්නේ ද මෙම රාමායණයයි.

අතීතයේ විසූ ඍෂිවරයෙකු සහ ලේඛකයෙකු වන වාල්මිකී නැමැත්තා විසින් රචනා කළා යැයි සැලකෙන රාමායණය තුළ අන්තර්ගත වන්නේ රාමා – සීතා සහ රාවණාගේ කතා පුවතයි. පුරාතන ඉන්දියාවේ මහා සංස්කෘතික වීර කාව්‍ය ද්විත්වයෙන් එකක් ලෙසටත් මෙය හඳුන්වනවා.

ලෝ පුරා හින්දූන්ගේ ගෞරවයට ලක්වන එවැනි වීර කාව්‍යයක් සිනමාවට නිර්මාණය කිරීමෙහි ලා දරන්නට වෙන දැවැන්ත පරිශ්‍රමය නිසාත්, ඉන්දියානු ජනතාවගේ හදවතෙ හි මැවී තිබෙන රාමායණය එලෙසින්ම සිනමාවට නැඟීමට අතිශයින්ම අපහසු නිසාත්, ඉන්දියානු සිනමාකරුවන්ගේ සිහින චිත්‍රපටය බඳු වන ‘රාමායණය’ නිසි අයුරින් රසිකයින්ට ඉදිරිපත් කරන්නට මෙතෙක් උත්සාහ දැරූ බොහෝමයක් අධ්‍යක්ෂකවරුන්ට තම උත්සාහය නිසි අයුරින් ජය ගන්නට හැකි වූයේ නැහැ.

ඒ නිසාම, රාමායණය වැනි අපහසු මාතෘකාවකට අත ගසන්නට වර්තමාන සිනමාකරුවන් එතරම් කැමැත්තක් දක්වන්නේ ද නැහැ. ඊට හෙඳම නිදසුන වන්නේ 2023 වසර මුලදී තිරගත වුනු Adipurush බොලිවුඩ් චිත්‍රපටයයි.
වර්තමාන පරපුරේ සිටින ජනප්‍රියම ඉන්දීය නලුවෙකු වන ප්‍රබාස්ගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වුනු Adipurush සිනමාපටයට පාදක වූයේ ද රාමා – සීතා – සහ රාවණාගේ රාමායනයයි. එය ඉන්දීය කෝටි 500කට ආසන්න මුදලක් වැය කරමින් නිෂ්පාදනය වූ අති දැවැන්ත චිත්‍රපටයක්. බොලිවුඩ් රසිකයින් බහුතරයක් එය තිරගත වන තුරු බොහොම නොඉවසිල්ලෙන් සිටියත්, චිත්‍රපටය තිරගත වුනු පසු ඊට ලැබුනේ අතිශය ඍණාත්මක ප්‍රතිචාර… රාමායණය වැනි ඵෙතිහාසික කතාවක් Adipurush චිත්‍රපටයෙන් සම්පූර්ණයෙන්ම විනාස කළා යැයි සමස්ත ප්‍රේක්ෂකාගාරයම එහි අධ්‍යක්ෂකවරයාට සිය අප්‍රසාදය පළ කළා.

මෙවැනි කාරණා නිසා රාමායණය ආශ්‍රය කරගෙන සිනමාපටයක් නිර්මාණය කරන්නට අද දවසේ ඉන්දියාවේ සිටින ප්‍රවීණතම සිනමාකරුවන් පවා එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. Adipurush අධ්‍යක්ෂක Om Rautගෙන් පසුව, රාමායණය සිනමාවට නැඟීමට තමන් උත්සාහ ගන්නා බවට ප්‍රසිද්ධියේ පැවසූ එකම බොලිවුඩ් අධ්‍යක්ෂකවරයා වන්නේ ද Nitesh Tiwari පමණයි.

2020 වසරේදී ප්‍රසිද්ධ බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන Madhu Mantena විසින් තමන්ගේ නිෂ්පාදන අධීක්ෂණය යටතේ, නිතේෂ් තිවාරි විසින් රාමායණය ඇසුරින් නවතම චිත්‍රපටයක් සැදීමට සූදානම් බව පැවසූ අතර එය තනි චිත්‍රපටයක් ලෙසින් නොව; චිත්‍රපට තුනකින් සමන්විත trilogy මාලාවක් වශයෙන් නිර්මාණය බව බවත් සඳහන් කළා. ඔහු මෙලෙස රාමායණයෙන් චිත්‍රපටයක් නිෂ්පාදනයට උත්සාහ දරන්නේ 2017 වසරේ සිටයි.
2020 වසරේ සිට මේ දක්වාම සිදු වුනු එහි තිර පිටපත් සාකච්ඡා, චරිත තෝරාගැනීම් සහ පූර්ව නිෂ්පාදන කටයුතුවලින් බොහෝමයක් දැන් අවසන් වී තිබෙන අතර පසුගිය අප්‍රේල් 02 වනදා එහි රූගත කිරීම් ද ආරම්භ වුනා. ඒ උතුරු ඉන්දියාවේ මුම්බායි චිත්‍රාගාරයක් තුළයි.

මේ වනවිට, රාමායණයේ ප්‍රධාන චරිත ත්‍රිත්වය වන රාමා – සීතා – රාවණාට හිමි භූමිකා නිරූපණය කරනු ලබන නලු නිලියන් තිදෙනාව තෝරාගෙන අවසන් අතර තව කෙටි කාලයකින් ඔවුන් නිල වශයෙන්ම ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට සූදානමින් සිටිනවා.

ඒ අනුව මෙහි රාම දෙවියන්ගේ චරිතය රඟපාන්නේ ජනප්‍රිය බොලිවුඩ් නලු Ranbir Kapoor (රන්බීර් කපූර්) විසිනුයි. වර්තමාන බොලිවුඩ් සිනමාවේ සාර්ථක crowd pulling රංගන ශිල්පියෙකු වන ඔහුට ඉන්දියාව තුළ මෙන්ම ඉන් පිටතත් විශාල ප්‍රේක්ෂකාගාරයක් සිටිනවා. රන්බීර් ප්‍රධාන චරිත රඟපෑ Sanju සිනමාපටය ඉන්දියානු කෝටි 600කට ආසන්න මුදලකුත්, Bhrahmastra චිත්‍රපටය ඉන්දියානු කෝටි 450ට ආසන්න මුදලකුත් වාර්තා කළේ රන්බීර් කපූර් නැමැති රංගන ශිල්පියාගේ තරු ගුණය ගැන මනාව පැහැදිලි කරමින්… රන්බීර් රඟපෑ අවසාන චිත්‍රපටය, Animal හි සම්පූර්ණ ආදායම ඉන්දීය කෝටි 900කට ආසන්නයි.

චිත්‍රපටය තුළ සීතාගේ චරිතය නිරූපණය කිරීමට මුලදී යෝජනා වුනේ ජනප්‍රිය හින්දි නිළියක සහ රන්බීර් කපූර්ගේ බිරිඳ වන Alia Bhatt (ආලියා භාත්) හටයි. ආලියා මුලදී චිත්‍රපටයට කැමැත්ත පළ කිරීමත් සමඟ ඔවුන් දෙදෙනාගේ සහභාගීත්වයෙන් යම් test shoots කිහිපයකුත් පසුගිය අගෝස්තු මාසයේදී සිදුවුනා. නමුත් දැන් පැවසෙන පරිදි ඇය තවදුරටත් මෙහි සීතාගේ චරිතය නිරූපණය කරන්නේ නැහැ.
ඊට හේතු වී තිබෙන්නේ මෙහි රූපගත කිරීම් සඳහා දින ලබාදීමේ ප්‍රශ්නයකුයි. ඇය මේ දිනවල තවත් චිත්‍රපට කිහිපයකම රංගනයෙන් එක් වන නිසා මෙහි සීතාගේ චරිතය නිරූපණය කිරීමට තරම් ප්‍රමාණවත් දින ගණනක් ලබාදීමට ඇයට හැකි වී නැහැ.

ආලියා භාත්ගේ ඉවත් වීමෙන් පසුව, දැන් එම අවස්ථාව ලැබී තිබෙන්නේ ජනප්‍රිය දකුණු ඉන්දියානු රංගන ශිල්පිනියක වන සායි පල්ලවී හටයි. Premam චිත්‍රපටයෙන් ලෝ පුරා රසිකයින් ආදරය දිනාගත් සායි පල්ලවි සිය පළමු චිත්‍රපටයෙන්ම දකුණු ඉන්දීය සිනමාවේ අවධානය දිනාගත්තා. Premam – Kali – Athiran වැනි සාර්ථක මලයාලම් චිත්‍රපට ගණනාවකට පසුව දමිළ සහ තෙළිඟු සිනමාවන් වෙත පැමිණි ඇය ඒවායේ ද Maari 2 – NGK – Fidaaa – Shyam Singha Roy වැනි ජනප්‍රිය නිර්මාණ රැසකට රංගන දායකත්වය ලබා දුන්නා.
සායි පල්ලවි රංගනයෙන් එක් වන පළමු හින්දි භාෂාමය නිර්මාණය වන්නේ මෙම රාමායන චිත්‍රපටයයි.

කන්නඩ නලු Yash විසින් රාමායන වීර කාව්‍යය ඇසුරෙන් නිපදවෙන මෙම චිත්‍රපටයේ ලංකාද්වීපයේ පාලකයා වන ‘රාවණා’ගේ චරිතය නිරූපණය කරනවා. වසර ගණනාවක් තිස්සේ කන්නඩ සිනමාවේ සිටි ජනප්‍රිය නලුවෙකු වූ Yash, 2018 වසරේදී සිය KGF: Chapter 01 චිත්‍රපටය හරහා සමස්ත ඉන්දියාව පුරාම ජනප්‍රියත්වයට පත්වුනා. 2022 වසරේදී Yashගේ ප්‍රධාන රංගනයෙන් යුතුව, KGF: Chapter 02 දෙවන දිගහැරුම තිරගත වුනු අතර ඉන්දියානු කෝටි 1200කට අධික මුදලක් සමඟින් එරට සිනමාව තුළ මෙතෙක් චිත්‍රපටයක් ලැබූ සිව්වන වැඩිම ආදායමට හිමිකම් කියන්නටත් KGF: Chapter 02 සමත් වුනා.

KGF: Chapter 02 චිත්‍රපටයෙන් පසුව Yash රංගනයෙන් සම්බන්ධ වන එක් සිනමාපටයක් ගැන පමණයි මේ දක්වා රසිකයින්ට දැනුම් දී තිබෙන්නේ. ඒ මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂිකා ගීතු මෝහන්දාස් සමඟින් සිදු කෙරෙන “TOXIC” සිනමා නිර්මාණයයි. එවැනි පසුබිමක් තුළ ලෝ පුරාම සිටින ඔහුගේ රසිකයින් Yashගේ තවත් චිත්‍රපටයක් නිකුත් වන තුරු බලා සිටින්නේ බොහොම නොඉවසිල්ලෙන්…

යාශ් රංගනයෙන් එක්වීමට නියමිත මෙම චිත්‍රපට ද්විත්වය අතුරින් වැඩිම තරු ගුණයක් සහිත නලු නිළියන් දැකගන්නට ලැබෙන්නේ මෙම නිර්මාණයේ නිසා ඔහුගේ රසිකයින්ගේ අවධානය නිතැතින්ම මෙම චිත්‍රපටයට ලැබී තිබෙනවා.
රාමායණය ඇසුරෙන් නිපදෙවන මෙම චිත්‍රපටයේ හනුමාන්ගේ චරිතය රඟපාන්නේ තවත් දක්ෂ සහ ප්‍රවීණ බොලිවුඩ් නලුවෙකු වන සනී ඩියෝල් විසිනුයි.

චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන Nitesh Tiwari වර්තමාන ඉන්දියාවේ සිටින දක්ෂතම අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් හැඳින්වූවාට වරදක් නැහැ. ඔහු විසින් නිර්මාණය කළ චිත්‍රපට ඒ තරමටම ගුණාත්මක තත්වයේ ඒවායි. ඉන්දීය කෝටි 2000කට අධික ආදායමක් සමඟින් මෙතෙක් ඉන්දියානු සිනමාවේ ඉහළම ආදායම්ලාභී සිනමාපටයේ වාර්තාවට හිමිකම් කියන Dangal හින්දි චිත්‍රපටයත් ඔහුගේ අධ්‍යක්ෂණයක්.
ඊට අමතරව Chillar Party – Chichhore – Bawaal  වැනි එකිනෙකට වෙනස්, ගුණාත්මක තත්වයේ විශිෂ්ට නිර්මාණ රැසක්ම නිතේෂ් තිවාරිගෙන් බිහිවී තිබෙනවා.

වසර 04කට අධික කාලයක් පුරාවට සිදු කෙරුනු පූර්ව නිෂ්පාදන කටයුතු සහ තිර රචනයෙන් අනතුරුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙහි රූගත කිරීම් ආරම්භ වුනා. නමුත් තවමත් රන්බීර් කපූර් මෙහි රූගත කිරීම් සඳහා එක්වී නැහැ. එහිදී පළමුවෙන්ම වැඩ ඇරඹීමට නියමිතව තිබෙන්නේ රන්බීර් කපූර් සහ සායි පල්ලවිගේ (රාමා – සීතා) දර්ශනවලට අදාළ කොටස් පෙළයි. මුලදී සැලසුම් කළ ආකාරයට මෙම දර්ශන 2023 දෙසැම්බර් මාසය වනවිට ආරම්භ කිරීමට තිබුනත්, ආලියා භාත් හදිසියේම මෙයින් ඉවත්ව යෑමත් සමඟ චිත්‍රපටයේ සියලුම කටුයුතු මඳක් පසුපසට ගන්නට ඔවුන්ට සිදුවුනා.

ඔවුන් දෙදෙනාගේ රූගත කිරීම්වලට සමගාමීව, 2024 ජූලි මාසයේ සිට රාවණාගේ චරිතයට පණ පොවන කන්නඩ නලු Yashගේ දර්ශන පෙළත් ආරම්භ වන බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා. මෙහි හනුමන්ගේ චරිතය සඳහා ජනප්‍රිය හින්දි නලු Sunny Deol සම්බන්ධ වනවා.

Yash සහ Ranbir දෙදෙනාම සම්බන්ධ වන දර්ශන පෙළකුත් මෙම මාස කිහිපය ඇතුළතදී අවසන් කිරීමට නියමිතයි. Yashගේ දර්ශන ඉන්දියාවට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකදීත් රූපගත කිරීමට සූදානම් වන බවට පැවසුනත් ඒ බව නිශ්චිතව තහවුරු වී නැහැ. රාවණා චරිතයට පසුබිම් වන්නේ ලංකාව නිසා බොහෝදුරට චිත්‍රපටයේ ගුණාත්මකබාවය තවදුරටත් රැක ගැනීමේ අරමුණින් රාවණා චරිතයට අයත් කොටස් මෙරටදී ම රූගත කරන්නට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිනවා විය හැකියි.

Yash විසින් මෙම රාමායන සිනමාපටය වෙනුවෙන් දින 15ක් පුරාවට රංගනයෙන් සම්බන්ධ වනවා. මෙය කොටස් තුනකට නිපදවෙන චිත්‍රපටයක් නිසා පළමු කොටසෙන් රාවණාගේ චරිතය එතරම් දැකගන්නට ප්‍රේක්ෂකයින්ට අවස්ථාවක් ලැබෙන්නේ නොමැති වේවි.

Dune, Dunkirk, Interstellar, The Dark Knight Rises වැනි ජනප්‍රිය හොලිවුඩ් සිනමාපට රැසක සංගීත අධ්‍යක්ෂණය සිදු කළ Hans Zimmerව මෙහි සංගීත නිර්මාණය සඳහා එක් කරගැනීමටත් චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම මේ දිනවල වෙහෙසෙනවා. ඇකඩමි සම්මානලාභී ඉන්දියානු සංගීතවේදියෙකු වන A.R. Rahman ​සමඟින් Hans Zimmer ද රාමායණ සිනමා කෘතියේ පසුබිම් සංගීත නිර්මාණයට සම්බන්ධ කරගැනීමටයි ඔවුන්ගේ බලාපොරොත්තුව… එසේ වුවහොත්, Hans Zimmer විසින් ආසියානු සිනමාපටයක සංගීත අධ්‍යක්ෂණය කරන පළමු අවස්ථාව මෙය වනු ඇත.

මෙම සිනමාපටයේ දෘශ්‍ය ප්‍රයෝග දර්ශන සහ VFX සජීවිකරණ කටයුතු මෙහෙයවන්නේ ඇකඩමි සම්මානලාභී සජීවිකරණ ආයතනයක් වන DNEG විසිනුයි. Inception – Interstellar – Ex Machina – Tenet වැනි හොලිවුඩ් චිත්‍රපට වෙනුවෙන් ඔවුන් හත් වතාවක් ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබූ අතර වර්තමාන හොලිවුඩයේ දැවැන්ත චිත්‍රපට සියල්ලකම පාහේ VFX කටයුතු මෙහෙයවන්නේ ඔවුන්ගේ මූලිකත්වයෙනුයි.

Share

83 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.