රැඟුම් පාලක මණ්ඩලයට අනෝමාගෙන් පැසසුම්
සැප්තැම්බර් මාසයේ 2වෙනිදා පටන් 7වන දා දක්වා දිගහැරෙන කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල විදේශීය සිනමාපට අනුවක් හා කෙටි චිත්‍රපට දොලහකින් සමන්විතයි.මේ නිර්මාණ තිරගත කීරිමට මත්තෙන් රැඟුම් පාලක මණ්ඩලයේ අධීක්ෂණයට යොමු කළයුතුයි.මේ සඳහා තිබු කාලය සීමිත වු නිසාත්,චිත්‍රපට ගණන විශාල වු නිසාත්,සමහරක් නිර්මාණ ආන්දෝලනාත්මක වු නිසාත් රැඟුම් පාලක මණ්ඩලයෙන් කුමන ප්‍රතිචාරයක් ලැබෙතැයි නොදැන එහි සංවිධායකයින් සිටියේ දෙගිඩියාවකින්.නමුත් මේ සඳහා තම පුර්ණ කැපකිරීමක් ලබා දුන් රැඟුම් පාලක මණ්ඩලය සියලු නිර්මාණ නරඹා අනුමැතිය ලබා දී තියෙනවා.මේ උළෙලේ ඇති වැදගත්කම ගැන දැනගෙන ඔවුන් කළා වු ඒ සේවාව සම්බන්ධයෙන් මේ උළෙලේ වැඩසටහන් සම්පාදකවරිය වු අනෝමා රාජකරුණා මහත්මිය තම කෘතවේදිත්වය පළකර තිබුණේ මෙලෙසයි
“කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ චිත්‍රපට සියයකට අධික ප්‍රමාණයක් තිරගත වෙනවා. ඒ රටවල් ගණනාවක් නියෝජනය කරන චිත්‍රපට. මේ කිසිවක් අප රටේ කොතැනක හෝ තිරගත කරන්නට ප්‍රථම ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට පෙන්විය යුතුයි. ඒක තමයි සම්ප්‍රදාය. අප මෙම උළෙල මේ රටේ සංවිධානය කරන්න තීරණය කළේ මීට සති කිහිපයකට උඩදී. ඉතින් මේ සුළු කාලය අතරතුර චිත්‍රපට සියල්ල රැඟුම් පාලක මණ්ඩලයට පෙන්වන්න පුළුවන් වේවිද කියන සැකය තිබුණා.
නමුත් අප හිතුවාටත් වඩා රැඟුම් පාලක මණ්ඩලයෙන් අපට අති විශාල සහායක් ලැබුණා. දිවා රෑ නොබලා ඔවුන් අපට උදවු කළා. ඒ අනුග්‍රහය චිත්‍රපට උළෙලට අප්‍රමාණ සවියක්. සැබවින්ම ඔවුන් මෙම උළෙලේ වැදගත්කම හඳුනාගෙන තිබුණා. සිනමාවට ළැදි අනාගත පරපුරට මෙම සිනමා උළෙලෙන් අති විශාල දැනුම් සම්බාරයක් ලබා ගත හැකියි. බැරි වෙලාවත් රැඟුම් පාලක මණ්ඩලය චිත්‍රපට අවසරය ලබා දෙන තැනදී යම් වාරණයක් පැන වූවා නම් ඇතැම් සිනමාපට නොපෙන්වන්නට සිදු වෙනවා. එසේ වුණා නම් සීමිත චිත්‍රපට ගණනකුයි උළෙල නියෝජනය කරන්නේ. එහෙත් රැඟුම් පාලක මණ්ඩලය උළෙලේ චිත්‍රපට හැම එකක්ම නරඹලා කිසිම වාරණයකට ලක් නොකොට අවසරය දුන්නා.“
අනෝමා රාජකරුණා
වැඩසටහන් සම්පාදක,
කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල
Written by Cinema.lk A
