SAARC සිනමා උළෙල මෙවරත් කොළඹදී
SAARC සංස්කෘතික මධ්‍යස්ථානයේ වසරක් මුළුල්ලේ පවත්වන විවිධ විශේෂාංග අතර ප්‍රධානම වැඩසටහනක් ලෙස SAARC සිනමා උළෙල හඳුන්වනවා. වාර්ෂිකව පවත්වාගෙන ආ මේ සිනමා උළෙල මෙවරත් 2018 වසර සඳහා පැවැත්වීමට සියලු කටයුතු සුදානම්. මෙවර සිනමා උළෙල පැවැත්වෙන්නේ 08 වැනි වරටයි. SAARC කලාපයට අයත් ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, බූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්තානය, සහ ශ්‍රී ලංකාව යන රටවල චිත්‍රපට මෙම සිනමා උළෙලේදී තිරගත කෙරෙනු ඇති.
2018 මැයි මස 22 සිට 27 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී මෙම සිනමා උළෙල පැවැත්වීමට නියමිතයි. එහි සමාරම්භක අවස්ථාව 22 වැනිදා සවස 5.30 සිට පැවැත්වෙනවා. 23 වැනිදා සිට 26 වැනිදා දක්වා දවස පුරාම චිත්‍රපට දර්ශන පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා. මෙවර කෙටි චිත්‍රපට, වෘතාන්ත චිත්‍රපට යන සියල්ල නියෝජනය වන පරිදි චිත්‍රපට 26ක් පමණ තිරගත කිරීමට නියමිතයි. SAARC සිනමා උළෙල සිනමා ප්‍රේක්ෂකයින් උදෙසා නොමිලේ පැවැත්වීමට සියල්ල සුදානම්.
චිත්‍රපට දර්ශනයට අමතරව සිනමාව පිලිබඳ අධ්‍යයන වැඩමුළුවක් (Masterclass) පැවැත්වීමටද සුදානම්. මැයි 25 වැනිදා උදේ 9 සිට 11 දක්වා මෙම වැඩමුළුව ශ්‍රී ලංකා මාධ්‍ය අභ්‍යාස ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
SAARC කලාපයේ නොවන රටවල ප්‍රධාන පෙලේ සිනමාකරුවන් පිරිසකගෙන් සැදුම් ලත් විශේෂ ජූරියක් මෙවරත් සිනමා උළෙලේ විනිසුරුවන් ලෙස කටයුතු කරනවා. මෙම සියලු වැඩසටහන් සමග එක්වන ලෙස SAARC සංස්කෘතික ආයතනය සිනමාලෝලීන්ට ඇරියුම් කරනවා.
Written by Nisanka Weheraduwa