Sonic 03 සහ Avatar 03 එළඹෙන දෙසැම්බරයේදී තිරගත වෙයි

Avatar Kavinu Weerakkody | August 14, 2022 140 Views 1 Like 0 Ratings

140 Views 0 Ratings Rate it

ඉදිරියේදී නිකුත් වීමට නියමිතව තිබෙන නවතම Sonic: The Hedgehog චිත්‍රපටය, සිනමා ශාලා වෙත නිකුත් වන දිනය Paramount Pictures ආයතනයෙන් දැන් තහවුරු කොට තිබෙනවා. ඒ අනුව එළඹෙන 2024 වසරේ දෙසැම්බර් 20 වනදා සිට ලෝ පුරා මෙය තිරගත වීමට නියමිතයි. 2020 වසරේ ඇරඹි Sonic චිත්‍රපට මාලාවේ තුන්වන නිර්මාණය වන මෙය, එහි දෙවන සීක්වල් චිත්‍රපටය ද වනවා.
චිත්‍රපටය නිෂ්පාදනය වන්නේ පළමු සීක්වල් නිර්මාණය වන Sonic: The Hedgehog 2 (2022) හි අවසානයේ පටන් ඉදිරියට සිදුවන කතාව පාදක කරගෙනයි.

මෙම Sonic සිනමාපටය දෙසැම්බර් මස තිරගත කිරීමට තීරණය කිරීමත් සමඟ, එතෙක් දෙසැම්බර් සහ ජනවාරි මාස වෙනුවෙන් මුදා හැරීමට නියමිතව තිබූ Paramount සිනමා නිර්මාණ කිහිපයකම දින වකවානු යළිත් වෙනස් වී තිබෙනවා. එයින් ප්‍රධානම චිත්‍රපටය වන්නේ Smurfs: The Musicals නිර්මාණයයි. ලෝක ප්‍රසිද්ධ Smurfs ඇනිමේෂන් චිත්‍රපට මාලාවේ නවතම දිගහැරුම වන මෙය, 2024 නත්තලට සමගාමීව ප්‍රදර්ශනය කිරීමටයි නිෂ්පාදකයින් විසින් මුලදී සැලසුම් කොට තිබුනේ.
නමුත් දැන් Sonic 3 හි බලපෑම නිසා Smurfs චිත්‍රපටය මාස දෙකක් පමණ ප්‍රමාද කිරීමට Paramount ආයතනයෙන් තීරණය කොට ති‍බෙනවා. නත්තලට සමගාමීව ප්‍රදර්ශනය ඇරඹීමට තිබූ Smurfs: The Musicals සිනමාපටය 2025 වසරේ පෙබරවාරි 14 වනදා තෙක් ප්‍රමාද කිරීමටයි ඔවුන් දැන් තීරණය කොට තිබෙන්නේ.

නමුත් Sonic: The Hedgehog 3 චිත්‍රපටය දෙසැම්බර් මාසයේදී තිරගත කිරීමට පැරමවුන්ට් ආයතනයෙන් ගත් තීරණය ප්‍රතිඵලදායක ද යන්න ලෝ පුරා රසිකයින් විමසන ප්‍රශ්නයක්! ඊට හේතුව වන්නේ මෙතෙක් ලෝක සිනමාවෙන් බිහිවූ විශිෂ්ටතම චිත්‍රපට මාලාවක් වන Avatar හි තුන්වන දිගහැරුම වන Avatar 3 (Untitled) චිත්‍රපටය ද එම මාසය තුළම සිය ප්‍රදර්ශනය ආරම්භ කරන නිසායි.
රසිකයින් ප්‍රශ්න කරන්නේ Avatar 03 වැනි දැවැන්ත චිත්‍රපටයක් සමඟ තරඟ කිරීමට Sonic: The Hedgehog 3ට හැකියාවක් තිබෙයි ද යන්නයි.
නමුත් Avatar සහ Sonic චිත්‍රපට ද්විත්වයේ ඉලක්කගත ප්‍රේක්ෂකාගාර එකිනෙක වෙනස් නිසා Sonic: The Hedgehog 3 සිනමාපටය අසාර්ථක නොවී, හොඳ බොක්ස්-ඔෆිස් ආදායමක් ලබා ගැනීමට හැකියාවක් පවතින බවටත් ඇතැම් හොලිවුඩ් විචාරකයින් පවසනවා. Sonic: The Hedgehog 3 චිත්‍රපටය ළමයින් උදෙසා වැඩි අවධානයක් යොමු කරමින් නිර්මාණය වන්නක් නිසා Family Audience පැත්තෙන් ඊට හොඳ ජනප්‍රියත්වයක් ලැබිය හැකියි.

Sonic නැමැති ප්‍රබන්ධ චරිතය මුල් වරට එළි දකින්නේ SEGA යනුවෙන් හඳුන්වන ජපන් ස්ටුඩියෝවකින් නිකුත් කළ පරිගණක ක්‍රීඩාවක් හරහායි. අධික වේගයකින් ගමන් කළ හැකි, සුපිරි බල සහිත සත්වයෙකු වූ Sonic එම ක්‍රීඩාවේ ප්‍රධාන චරිතය වූවා. නමුත්, නොසිතූ ලෙස ඊට හිමි වුනු ජනප්‍රියත්වය නිසා පසුකාලීනව එය පාදක කරගෙන නිපදවූ චිත්‍රපට සහ ඇනිමේෂන් කතාමාලා බොහෝමයක් ද වෙළඳපළට නිකුත් වුනා.
එවැනි නිර්මාණවලින් පසුව රසිකයින්ට දැකගන්නට ලැබුනු නවතම Sonic චිත්‍රපට මාලාව වන්නේ මෙම ‘Sonic: The Hedgehog’ ලයිව් – ඇක්ෂන් චිත්‍රපට ත්‍රිත්වයයි. Jeff Fowler විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම ලයිව් ඇක්ෂන් චිත්‍රපට මාලාව රචනා කොට තිබෙන්නේ Pat Casey සහ Josh Millerගේ එකතුවෙනුයි.

සමස්ත Sonic කතා තේමාව ම reboot කරමින් පළමු The Hedgehog චිත්‍රපටය නිකුත් වූයේ 2020 වසරේදී යි. එය රචනා වී තිබුනේ මුල්කාලීන චිත්‍රපට කතාවට වඩා යම් වෙනස්කම් සහිතවයි. ඇමරිකාවේ කුඩා නගරයක සිටින පොලිස් නිලධාරියෙකු සහ වෙනත් ග්‍රහලොවකින් පැමිනෙන Sonic අතර මිත්‍රත්වයක් ගොඩ නැඟෙන ආකාරයත්, ඔවුන් දෙදෙනා එක්ව Dr. Robotnic නැමැති කෲර විද්‍යාඥයාව පරාජය කරන ආකාරයත් එම චිත්‍රපටයට පාදක වී තිබුනා.

ඇමරිකානු ඩොලර් මිලියන 320ක ආදායමක් සමඟින් එය ලැබූ ජනප්‍රියත්වය නිසාම 2022 වසරේදී එහි දෙවන දිගහැරුම ද නිර්මාණය වුනා. මිලියන 90ක පිරිවැයකට එරෙහිව ඇමරිකානු ඩොලර් මිලියන 400 ඉක්මවූ ආදායමක් ලබා ගැනීමට ඊට හැකිවුනේ පළමු චිත්‍රපටයත් අභිබවමින්…
ලෝක සිනමාව තුළ පරිගණක ක්‍රීඩාවක් පාදක කරගත් චිත්‍රපටයක් වාර්තා කළ හතරවන වැඩිම ආදායම [ Fourth Highest Grossing Video Game ] වන්නේ එයයි.

Sonic: The Hedgehog 3 හි පූර්ව නිෂ්පාදන කටයුතු මේ වනවිට ඇරඹී තිබෙන අතර තිරපිටපත ආශ්‍රිත සැලසුම් බොහෝමයක්ම අවසන් වී ඇති බවත් සඳහන් වනවා. නමුත් මුල් චිත්‍රපට ද්විත්වයේ සිටි ප්‍රධාන රංගන ශිල්පියෙකු මෙම ඉදිරි නිර්මාණය තුළින් දැක ගැනීමට ලැබෙන්නේ නැහැ. ඒ රොබෝටික්ගේ ප්‍රතිවීර චරිතය නිරූපණය කළ ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පී Jim Carreyවයි.
මෙම තත්වය උදා වී තිබෙන්නේ Jim Carrey විසින් සිනමා රංගනයෙන් සමු ගැනීමට ගත් තීරණය නිසායි. නමුත් ඔහු නීරූපණය කළ රොබෝටික් චරිතය වෙනත් නලුවෙකු යොදා ගනිමින් continue වන බවකුත් තවම අණාවරණය වී නැහැ. බොහෝ විට මෙම චිත්‍රපටයේ පටන් ඉදිරි Sonic නිර්මාණවල ප්‍රතිවීර නලුවා සඳහා වෙනත් චරිතයක් යොදා ගැනීමට අවස්ථාව තිබිය හැකියි.

මෙම තුන්වන චිත්‍රපටයට අමතරව සොනික් කතා සංකල්පය ඇසුරෙන් තවත් spin – off කතා මාලාවක් ද නිර්මාණය වෙමින් පවතිනවා. Sonic: The Hedgehog 2 හි දක්නට ලැබුනු “knuckles” ප්‍රබන්ධ චරිතය පාදක වූවක් වන එය Paramount+ නැමැති OTT ප්ලැට්ෆෝමය ඔස්සේ නිකුත් වීමට නියමිතයි. එය සහ තුන්වන සොනික් චිත්‍රපටය අතර යම් සම්බන්ධයක් තිබේ ද යන්න තවම දැනගන්නට ලැබී නැතත්, තුන්වන චිත්‍රපටයේ ප්‍රදර්ශනය ඇරඹීමට පෙර මෙය රසිකයින්ට නැරඹීමට හැකියාව ලැබේවි.

Avatar 3 චිත්‍රපටයේ කුතුහලයත්, Sonic 3 චිත්‍රපටයේ උණුසුමත් නිසා එළඹෙන 2024 දෙසැම්බරය නම් ලෝ පුරා වෙසෙන සිනමා රසිකයින්ට අමතක නොවන අත්දැකීමක් වනු නොඅනුමානයි.

Share

140 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.