අනාගත සිනමාවේ “දෙරණ” පංගුව

Avatar Kavinu Weerakkody | December 2, 2024 39 Views 0 Likes 0 Ratings

39 Views 0 Ratings Rate it

මේ අපි ගතකරමින් ඉන්නෙ සිනමාව පිළිබඳව අර්බුධ, අනාගත අපේක්ෂා ආදී නොයෙක් කාරනා සම්බන්ධයෙන් කතාකරමින් ඉන්න කාලයක්. ඒ කාලෙ සිනමාව මෙන්න මෙහෙමයි දැන් එහෙම නෑ කියන එක මේ සංවාදයේදී නිතර ඇහෙන දෙයක් ඒ ඔක්කොම කතා අතරෙ දෙරණ සිනමා සම්මාන උළෙල පසුගියදා පැවැත්වුණා. කලු වළාවල පවා රිදී ඉරි තියනවා වගේ. මේ සම්මාන උළෙලත් සිනමාවේ අනාගතය වෙනුවෙන් ලොකුම හා හොඳම ආයෝජනයක් කියලයි ලියුම්කරුගෙ අදහස.

ඇත්තටම සිනමා සම්මාන උළෙලවල් තියන්නෙ මොකටද? සිනමා සම්මාන උළෙලකදි වෙන්නෙ මොනවද? සිනමා සම්මාන උළෙලවල් පැවැත්වීමේ අරමුණ තමයි එකී කර්මාන්තයේ නිරතවෙලා ඉන්න අය හා නිර්මාණ අගය කිරීම ඒ නිර්මාණ වෙනුවෙන් වටිනාකමක් ලබාදීම. සිනමා සම්මාන උළෙලකදි වෙන්නෙ අදාල කාලයකට හා නිර්නායන්ට ඇතුළත් නිර්මාණ තෝරාගෙන විවිධ කාණ්ඩ යටතේ සම්මාන ලබාදීම. මේ වගේ සම්මාන උළෙලවල් ගැන මුළු ලෝකයම අවධානයෙන් බලාගෙන ඉන්නවා, ඒවගෙන් ඇගයීම් කරන නිර්මාණ පිළිබඳවත් ලෝකයේ අවධානය යොමු වෙනවා එහෙම පසුබිමක පසුගිය කාලය පුරාවට ලංකාවේ හොඳ නිර්මාණ බිහිවුණත් තිබුන ලොකුම අඩුපාඩුවක් තමයි ලෝකයේ අවධානය දිනාගතහැකි සම්මාන උළෙලක් නොමැතිකම. ඒ හිස්තැන පුරවන්න දෙරණ සිනමා සම්මාන උළෙලට හැකියාව තියනවා කියන එකයි මගේ අදහස. මොකද ඒ ධාරිතාවය මෙවර සම්මාන උළෙලේදී හොඳටම පේන්න තිබුන දෙයක්.

සම්මාන උළෙලක් කියන්නේ අවසාන සම්මාන ප්‍රධාන රාත්‍රිය පමණක්නම් නොවෙයි. ප්‍රේක්ශකයන් විදිහට අපි දකින්නෙ අවසාන සම්මාන රාත්‍රිය වුණත් ඊට පෙර නිර්මාණ භාරගැනීම, නිර්මාණ විශ්ලේෂණය, චිත්‍රපට ප්‍රදර්ශන, සංවාද, පූර්ව ප්‍රචාරක වැඩසටහන් ආදී බහුවිධ අඩංගුවක් තමයි සිනමා උළෙලක් කියලා කියන්නෙ. ඒ හැම තැනකදීම දෙරණ සිනමා සම්මන උළෙල ප්‍රසස්ථ තැනක තියනවා. චිත්‍රපට ප්‍රදර්ශන අවස්ථාවදී වුණත් එකී ප්‍රමිතිය නඩත්තු කරමින් ඉතාම හොඳ සිනමා ශාලා යොදාගෙන ජාත්‍යන්තර සිනමා අත්දැකීමක් ලබා දෙන්න කටයුතු කරලා තිබෙනු දක්නට ලැබුනා. එතනින් එහාට ජූරිය තෝරා ගැනීම, ඒ අවශ්‍ය සංවිධාන කටයුතු සිදු කිරීම ආදියත් ඉතාම ප්‍රශංසනීයයි. ඒවගේමයි හැම සම්මාන උළෙලකදීම අවසානයේ නැගෙන චෝදනාවක් තමයි හොඳ නිර්මාණ පසෙකලා ඇතැම්විට පෞද්ගලික හෝ වෙළඳ මූලික කාරනා පදනම්ව සම්මාන ලබා දුන්නාය කියන කාරනාව මේ චෝදනාව එහෙම නොසැලකිල්ලෙන් බැහැර කරන්නත් පුලුවන් දෙයක් නෙවෙයි එහෙම ඉතිහාසයේ සිදුවවීම් දක්නට තියෙන නිසා. එහෙත් මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේදී එවැනි කිසිවක් නොමැතිවීම ඉතා හොඳ ප්‍රවණතාවක්. ඒ වගේමයි ගොඩක් සම්මාන උළෙලවල සම්මාන ප්‍රතික්ශේප කිරීම තිබුනත් එසේ කිසිදු සම්මානයක් ප්‍රතික්ෂේප නොවීම මත මේ සියලු කාරනා සාධාරනීකරනය කරනවා.

ඒ වගේමයි අවසන සම්මාන රත්‍රියත් ජාත්‍යන්තර මට්ටමකින් දක්නට ලැබුනා. සමාජ මාධ්‍යයේ ඉතා සුළු දෝශාරෝපනයක් තිබුනා මේ සම්මාන උළෙල ඉංග්‍රිසි භාශාවෙන් මෙහයවීම සම්බන්ධයෙන් එහෙත් එය එසේ සිදුවිය යුත්තක් මොකද මේ වගේ සම්මාන උළෙලක් ජාත්‍යන්තර අවධානය දිනාගන්නනම් ජාත්‍යන්තර භාශාවක් භාවිතය ඉතා වැදගත්. ඒකෙදි කෙනෙකුට කියන්න පුලුවන් එහෙම අවශ්‍ය නෑ සමහර රටවල් තමන්ගෙ මවුබසින් තමයි සිදු කරන්නෙ කියන කාරනය එහෙත් සිනමාව කර්මාන්තයක් විදිහට තවමත් ඉතාම පහළ මට්ටමක සිටින අපි ඒ කාරනය නොසලකා හැරිය යුතුමයි. ඒත් එක්කම මේ ඉදිරිපත් කිරීම් කරපු අශාන් සමඟ ඩිස්නි සුසංයෝගය ඉතාම හොඳින් තම වගකීම ඉටුකළා වගේම තමන්ගේ කුසලතා පරාසයන් පිළිබඳව ඉතා හොඳ ඉඟියක් ලබා දෙන්න සමත් වුණා.

සමස්ථය විදිහට ගත්තම මේ දෙරණ සිනමා සම්මාන උළෙල ඉතාම ප්‍රශස්ථයි වගේම අගය කළ යුතුයි. සම්මාන ලැබු සියලු දෙනාට සුභාශිංෂන එක් කරන අතරම සම්මාන් උළෙල සංවිධානයට තිරය පිටුපස අති විශිෂ්ඨ දායකත්වය ලබා දෙන ලද දෙරණ ඉහළ කළමනාකාරීතවය, නිෂ්පාදකවරුන්, කාර්ය මණ්ඩලය, සෙසු ශිල්පීන් ඇතුළු සිය ගණනක් වූ සියලු දෙනාටමත් ප්‍රණාමය පුදකළ යුතුයි.

වැඩේ සාර්ථකයි, සතුටුයි, දෙරණ අනාගත ලාංකීය සිනමාවේ තම පංගුව අත්පත්කරගනිමින් සිටිනවා.

Share

39 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.