අපේ ප්‍රින්සිපල් – දෙරණ LUX සිනමා සම්මාන 2024

Avatar Kavinu Weerakkody | October 21, 2024 142 Views 1 Like 0 Ratings

142 Views 0 Ratings Rate it

අපේ ප්‍රින්සිපල් සිංහල සිනමාපටය පසුගිය වසරේ තිරගත වුනු ලාංකීය නිර්මාණ අතුරින් වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් සිනමාපටයක් මෙන්ම, බොක්ස්- ඔෆිස් ආදායමෙන් ද ඉහළ සාර්ථකත්වයක් ළඟා කරගත් සිනමාපටයක්. මෙවර 09වන දෙරණ සිනමා සම්මාන රාත්‍රියට මෙම චිත්‍රපටයත් තරඟ වදින අතර අවසන් නිර්දේශ වීම්වලට පැමිනෙන්නට ද ඊට හැකියාව ලැබී තිබෙනවා.

එක්තරා පාසලක් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුනු එහි සිසු සිසුවියන් වටා ගෙතෙන අපේ ප්‍රින්සිපල් සිනමාපටය, පවුලේ සැමට එක්ව නැරඹිය හැකි අපූරු නිර්මාණයක්.

“අපේ ප්‍රින්සිපල්” චිත්‍රපටය නිර්මාණය වන්නේ මෑතක පටන් මෙරට පාසල් සිසු සිසුවියන් අතරෙ හි සීඝ්‍රයෙන් පැතිර යන මත්ද්‍රව්‍ය භාවිතය සහ ඔවුන්ව එයින් ගලවා ගත හැකි මාර්ගය ගැන සිනමාත්මක අත්දැකීමක් ලබා දීමේ අරමුණ ඇතිවයි‍‍.

ළමයින් 300කගෙන් පමණ සමන්විත ‘මිහින්පුර විද්‍යාලය’ නැමැති කුඩා පාසලේ අලුතෙන් වැඩ බාර ගන්නා විදුහල්පතිනියක වටායි මෙම සිනමාපටය ගෙතෙන්නේ. විදුහල වඩාත් දියුණු තැනකට ගෙන ඒමට අදහස් කළත්, ඇය දකින්නේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වුනු සහ විවිධ සමාජ විෂමාචාරයන්ට ගොදුරු වුනු සිය ශිෂ්‍යයන්වයි.

දෙමාපියන්ගේ සහ අසල්වාසීන්ගේ උපකාර ඇතිව එම තැනින් තමන්ගේ සිසු සිසුවියන්ව ගලවා ගැනීමට නව විදුහල්පතිනිය දරන උත්සාහයත්, දේශපාලන අධිකාරියෙන් ඇයට එල්ල වන පීඩනය මඟ හරවමින් පාසලේ දියුණුවට විදුහල්පතිනිය ක්‍රියා කරන ආකාරයත් “අපේ ප්‍රින්සිපල්” චිත්‍රපටයෙන් ඔබට නැරඹිය හැකියි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන විදුහල්පතිනියගේ භූමිකාවට පණ පොවන්නේ මෙරට සිනමාවේ සිටින ජනප්‍රිය – දක්ෂ රංගන ශිල්පිනියක වන දිල්හානි ඒකනායකයි. දශක තුනකට අධික කාලයක් මෙරට සිනමාව තුළ සාර්ථක ගමනක් පැමිණි ඇය අදටත් මෙරට අතිශය ජනප්‍රියතාවයක් හිමිකරගෙන සිටින රංගන ශිල්පිනියක්.

දේදුන්නෙන් සමනලියක් – සුදු කලු සහ අලු – නිලම්බරී – ආකාස කුසුම් – චෙරියෝ ඩාලින් – කොලොම්පූර් ආදී ජනප්‍රිය සිනමාපට රැසකට රංගන දායකත්වය ලබා දුන් ඇය පසුගිය සමයේදී ප්‍රේක්ෂක අවධානයට ලක් වුනේ හැපී බර්ත්ඩේ – අන්ඩපෑන්ට්ස් තීෆ් – ධර්ම යුද්ධය – වැලි පවුරු වැනි නිර්මාණ හරහායි‍.

ල්හානි ඒකනායකට අමතරව රොජර් සෙනෙවිරත්න, ජගත් චමිල, ෂාම් ප්‍රනාන්දු, රුක්ෂාන්ති පෙරේරා, සමන්ත කුමාර ගමගේ, චමින්ද බටුකොටුව, ශිරන්ත ප්‍රේමවර්ධන, නයනා රඹුක්කනගේ, දුනිෂා පියුමි, පාලිත ප්‍රේමකුමාර, මංජු මුදලිගේ, තිස්ස ගුණතිලක, කාන්චනා සෙව්වන්දි, රධිකා, සමන්ත කුමාර, අනුරාධ රාජපක්ෂ, කනිශ්ක රණබාහු සහ ජයනි වීරසිංහ වැනි නලු නිලියන් පිරිසක් මෙහි සෙසු චරිත සඳහා සම්බන්ධ වනවා.

අපේ ප්‍රින්සිපල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ලාංකීය සිනමාවේ, මතු බලාපොරොත්තු තැබිය හැකි සිනමාකරුවෙකු වන ක්‍රිස් ඇන්තනි විසිනුයි. විශ්වජිත් කරුණාරත්නගේ කැමරාකරණයෙන් හැඩ වුනු මෙහි දෙබස් සහ තිර පිටපත ලලිත් වරුණ රාජපක්ෂගෙනි. කලා අධ්‍යක්ෂණය අරුණ ඩයස් විසිනි. සංස්කරණය ශාන් අල්විස් සහ සහාය අධ්‍යක්ෂණය ප්‍රදීප් රාජපක්ෂයි.

මනනුවන් රූපසිංහ අංග රචනා ශිල්පියායි‍ අපේ ප්‍රින්සිපල් චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණකරණය සවන් පවිත්‍ර විසිනුත්, සංගීත අධ්‍යක්ෂණය සශින් ගිම්හාන් පෙරේරා විසිනුත් සිදු කොට තිබෙනවා‍. නිෂ්පාදන කළමනාකරු ප්‍රසාද් ඇන්තනි යි. සමන්ත කුමාරගේ ගී පද රචනයෙන් හැඩ වුනු මෙහි ගීත ගායනය සිදු කරන්නේ චන්න ගමගේ යි‍.

KAPTURE 2 STUDIOS වෙනුවෙන් “අපේ ප්‍රින්සිපල්” නිෂ්පාදනය කරන්නේ උපුල් ධර්මසේන සහ ඉන්දික විමලරත්න එකතුවෙනි.

අපේ ප්‍රින්සිපල් ඔබ ‍වෙත ගෙනා ක්‍රිස් ඇන්තනි අධ්‍යක්ෂණය කළ දෙවන චිත්‍රපටය වන පාස්පෝට් (Passport) චිත්‍රපටයත් මේ දිනවල තිරගත වන අතර ඊට ද හොඳ රසික අවධානයක් ලැබී තිබෙනවා.

අපේ ප්‍රින්සිපල් චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.

මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!

එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…

මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

09වන දෙරණ LUX සිනමා උළෙලෙ හි ජයග්‍රාහී සිනමාපටවලට සම්මාන ලබා දෙන අති – උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය එළඹෙන නොවැම්බර් 10 වනදා TV දෙරණ ඔස්සේ නැරඹිය හැකියි.

Share

142 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.