ඉගිල්ලෙන මාලුවෝ – දෙරණ LUX සිනමා සම්මාන 2024

Avatar Kavinu Weerakkody | November 12, 2024 26 Views 0 Likes 3 On 1 Rating

26 Views 3 On 1 Rating Rate it

සංජීව පුෂ්පකුමාර මෙරට සිනමාව තුළ බොහෝ අවස්ථාවන් හිදී කතාබහට ලක් වූ අධ්‍යක්ෂකවරයෙක්. මේ වනවිට දිගු-වෘතාන්ත නිර්මාණ කිහිපයක් නිර්මාණය කර තිබුණත්, සංජීවගේ පළමු චිත්‍රපටය වන “ඉගිල්ලෙන මාලුවෝ” හෙවත් Flying Fish මෑතක් වනතුරුම මෙරට තිරගත වූයේ නැහැ.

2011 වසරේදී නෙදර්ලන්තයේ Rotterdam සිනමා උළෙලින් අන්තර්ජාතික ප්‍රදර්ශනය ඇරඹි ඉගිල්ලෙන මාලුවෝ සිනමාපටය සමස්ත උළෙල 30කට අධික සංඛ්‍යාවක තිරගත වූ නිර්මාණයක්. චිත්‍රපටයේ මෙරට සිනමාශාලා ප්‍රදර්ශනය සඳහා රැගුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණද, ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත්වීම මත එහි ප්‍රදර්ශනය තහනම් වුනා.

කෙසේ වූවද, වසර ගනනක තහනමකට පසුව 2023 වර්ෂයේදී ඉගිල්ලෙන මාලුවෝ මෙරට සිනමාහල්වල තිරගත වීම ඇරඹුනු අතර මේ වනවිට, 09 වන දෙරණ LUX සිනමා උළෙල සඳහාත් එය සුදුසුකම් ලබා තිබෙනවා.

කුණාමලයේ මායිම් ගම්මානයක ජීවත් වූ සමයේදී තමන් දකින්නට, විඳින්නට ලැබුණු අත්දැකීම් ඇසුරෙන් ඉගිල්ලෙන මාලුවෝ නිර්මාණය කළ බව අධ්‍යක්ෂකවරයා වරෙක පවසා තිබුනා. ඇවිලෙන සුලුයි (2020) චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන චින්තන ධර්මදාස ද, සංජීව පුෂ්පකුමාර සමගින් මෙහි තිර පිටපත රචනයට එක්ව තිබෙනවා.

මෙරට යුධ පරිසරය පාදක කරගත් මේ anthology චිත්‍රපටය ගොඩනැඟී තිබෙන්නේ සිවිල් යුධ සමයේදී වේදනකාරී අත්දැකීම්වලට මුහුණ පාන්නට සිදුවූ තරුණ පුද්ගලයින් තිදෙනෙකු මුල් කරගෙනයි.
– වාසනා සහ සොල්දාදුවා
– පුත්‍රයා සහ මව
– දමිළ තරුණිය
Flying Fish හරහා ඔවුන් තිදෙනාගේ ජීවිත අත්දැකීම් උප කතා (segments) තුනක් ඔස්සේ දැකගන්න ලැබෙනවා.

2011 St. Pertersburg International Film Festival හි හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය, 4th Bengaluru International Film Festival හි හොඳම ආසියානු සිනමාපටයට හිමි සම්මානය ඇතුළු ජාත්‍යන්තර ජයග්‍රහණ කිහිපයක් දිනා ගන්නටත් ඉගිල්ලෙන මාලුවෝ සිනමාපටය සමත් වුනා.

කෞෂල්‍යා ප්‍රනාන්දු, ගයේෂා පෙරේරා, සම්පත් චාමින්ද ජයවීර, සිත්ති මාරියම්, නිලන්ක දහනායක, රත්නායක මාරසිංහ, සුමති සිවමෝහන්, සංජීව දිසානායක, තිස්ස බණ්ඩාරනායක සහ මොහොමඩ් අලී රජබ්දීන් වැනි ශිල්පීන් බොහෝ දෙනෙකු මීට රංගනයෙන් සම්බන්ධව තිබෙනවා. විශ්වජිත් කරුණාරත්න විසින් කැමරාකරණය හසුරුවා තිබෙන Flying Fish සිනමාපටයේ සංස්කරණය අජිත් රාමනායක විසින් සිදුකොට තිබෙනවා. සංජීවගේ සිනමාපට සියල්ලම පාහේ අජිත් රාමනායකගේ සංස්කරණයෙන් හැඩ වී තිබීම තවත් විශේෂත්වයක්. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වශයෙන් සම්බන්ධ වී තිබෙන්නේ තරිඳු ප්‍රියංකර ද සිල්වායි.

ඉගිල්ලෙන මාලුවෝ චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.

මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!

එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…

මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

09වන දෙරණ LUX සිනමා උළෙලෙ හි ජයග්‍රාහී සිනමාපටවලට සම්මාන ලබා දෙන අති – උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය එළඹෙන නොවැම්බර් 16 වනදා සවස 7.30ට TV දෙරණ ඔස්සේ නැරඹිය හැකියි.

Share

26 Views 3 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.