කබඩි ක්‍රීඩකයෙකුගේ චරිතයකින්, Jr NTR ළඟදීම

Avatar Kavinu Weerakkody | March 24, 2022 91 Views 0 Likes 0 Ratings

91 Views 0 Ratings Rate it

තෙළිඟු සිනමාවේ වර්තමාන පරපුර නියෝජනය කරන සිනමා තරු අතරින් Jr. NTR හෙවත් N. T. Rama Rao Jrට හිමි වෙන්නේ ප්‍රබල ස්ථානයක්. වසරකට සිනමාපට කිහිපය බැගින් රංගනයේ නොයෙදුණත්, ඔහු වටා සිටින රසික ප්‍රේක්ෂකයින්ගේ අඩුවක් නම් නැහැ. ඔහු මෑතකාලීනව වැඩිම රසිකයින් පිරිසක් සිටින තෙළිඟු නලුවන් කිහිප දෙනාගෙන් එක් අයෙක් ද වනවා.

සමස්ත දකුණු ඉන්දියානු කලාපය තුළ ම අතිශය ජනප්‍රිය නළුවෙක් වුණද 2014 වර්ෂයේ සිට මේ දක්වා ඔහු වසරකට රඟපා තිබෙන්නේ එක් සිනමාපටය බැගින් පමණක් වීමත් විශේෂත්වයක්! එකිනෙකට වෙනස් පිටපත් තෝරා ගැනීමට සෑමවිටම උත්සාහ ගන්නා Jr. NTR තෙළංගානා ප්‍රාන්තයේ ජනප්‍රිය සිනමා පරම්පරාවක සාමාජිකයෙක් වීමෙන් ඔහුගේ රසිකයින් ප්‍රමාණය තව තවත් වැඩිවී තිබෙනවා.  ඒ නිසාම, තෙළිඟු සිනමාවේ අනෙක් රංගන ශිල්පීන්ට සාපේක්ෂව Jr. NTRගේ චිත්‍රපටයක් ගැන තොරතුරු නිකුත් වූ පසු ඒ ගැන ප්‍රාන්තයේම කතාබහට ලක්වීම සාමාන්‍ය සිදුවීමක්…

වසර 04ක් තරම් දිගු කාලයකින් Jr. NTR රංගනයේ යෙදෙන චිත්‍රපටයක් සිනමාහලට නිකුත් වූයේ නැහැ. ඔහු අවසන් වතාවට රසිකයින්ට දැකගත හැකි වූයේ 2018දී නිකුත් වූ Aravinda Sametha Veera Raghava සිනමාපටය හරහායි. කෝවිඩ් වසංගතය නිසා 2018 සිට වසර ගණාවක් ගත වුණත් ඔහු රංගනයෙන් එක්වුනු සිනමාපටයක් ප්‍රේක්ෂකයින්ට මුදා හැරීමට නිෂ්පාදකයින්ට නොහැකි වුනා. ඒ නිසා අද වනවිට Jr. NTRගේ චිත්‍රපටයක් නරඹන්නට බලාපොරොත්තුවෙන් සිටින රසිකයින් ප්‍රමාණය වෙනදාටත් වඩා වැඩියි.

මෙම දිගු නිහැඬියාව අවසන් කරමින් එළඹෙන මාර්තු 25 වනදා ලෝ පුරා සිනමාශාලාවලට නිකුත් වීමට නියමිත RRR සිනමාපටය Jr NTRගේ රංගන ජීවිතයේ විශාල සංදිස්ථානයක් වනු නොඅනුමානයි. ඉන්දීය කෝටි 400කට අධික පිරිවැයක් දරමින් නිෂ්පාදනය කර තිබෙන එහි Jr. NTR රඟ දක්වන්නේ “කොමරම් භීම්” නැමැති නිදහස් විමුක්තිකාමියාගේ ප්‍රධාන චරිතයයි.

මේ සියලුම හේතු නිසා Jr. NTR නැමැති රංගන ශිල්පියා මේ දිනවල මුලු දකුණු ඉන්දියාව පුරාම කතාබහට ලක්වන චරිතයක් වී අවසානයි. RRR සිනමාපටයේ උණුසුම අතරින් Jr. NTR රංගනයේ යෙදෙන තවත් චිත්‍රපටයක් ගැන තොරතුරු පසුගියදා මාධ්‍යයට නිරාවරණය වුනා. විශේෂයෙන්ම RRRට පසු ඔහු රංගනයෙන් එක්වන නිර්මාණ ගැන නිසි දැනුම්දීමකුත් සිදුව නැති නිසා Jr. NTRගේ upcoming projects නිතැතින්ම මාධ්‍යයේ අවධානය දිනා ගන්නවා.

තෙළංගානා මාධ්‍ය දැනුම් දෙන අන්දමට මේ සිනමාපටය අධ්‍යක්ෂණය කිරීමට තෝරාගෙන තිබෙන්නේ Buchi Babu Sanaවයි. වසර 10කට අධික කාලයක් තිස්සේ සිනමා කර්මාන්තය තුළ ක්‍රියාකාරීව සිටියත් Buchi Babu Sana චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිස වසර 02ක්වත් ගත වී නැහැ. ඔහු අධ්‍යක්ෂණය කර තිබෙන්නේත් එක් නිර්මාණයක් පමණයි. අතිරේක තිර පිටපත් රචකයෙක් සහ සහාය අධ්‍යක්ෂකවරයෙක් ලෙසින් චිත්‍රපටි කිහිපයකට සම්බන්ධ වූ ඔහු Ram Charanගේ Rangasthalam (2018) සිනමාපටයේ ප්‍රධාන සහාය අධ්‍යක්ෂකවරයා සහ දෙබස් රචකයා වශයෙනුත් කටයුතු කළා.

එයින් අනතුරුව Buchi Babu Sana නැවත කරළියට පැමිණෙන්නේ ඔහුගේ පළමු වෘතාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය වන Uppena (2021) සමඟයි. අධ්‍යක්ෂකවරයා සේම එහි ප්‍රධාන නළු නිළි යුගලයේ debut නිර්මාණය වූයේ ත් එයයි. දැඩි කෝවිඩ් වසංගතය මැද තිරගත වූ Uppena, කිසිවෙකුත් නොසිතූ සාර්ථකත්වයක් ළඟා කරගත් අතර කෝටි 100කට ආසන්න boxoffice ආදායමකුත් රැස් කරගත්තා. තෙළිඟු නළුවෙකුගේ debut lead චිත්‍රපටයක් ලබා ගත් වැඩිම ආදායම රැස් කර ගනිමින් නව ප්‍රාන්තීය වාර්තා කිහිපයකුත් තමන් සතු කරගන්නට uppena සමත් වුනා.
ඒ අයුරින් Uppena (2021) ලබා ගත් දැවැන්ත සාර්ථකත්වයට සමගාමීව අධ්‍යක්ෂක Buchi Babu Sanaගේ ජනප්‍රියත්වයත් වේගයෙන් ඉහළ ගියා. තෙළංගානා සිනමාවේ දැවැන්ත නිෂ්පාදන ආයතන ගණනාවක් ම Buchi Babu Sanaගේ අධ්‍යක්ෂණය යටතේ high budget චිත්‍රපට නිෂ්පාදනයට ඔහුට ආරාධනා කළා.
අන්තර්ජාලයේ දැක්වෙන අන්දමට Jr. NTR සුසංයෝගයෙන් මේ නව චිත්‍රපටය සඳහා ඔහුට ඇරයුම් ලැබී තිබෙන්නේ ද එහි ප්‍රතිඵලයක් විදිහටයි.

නමුත් Buchi Babu Sana සහ Jr. NTR දෙදෙනා එකට සම්බන්ධ වන පළමු නිර්මාණය වන්නේ මෙය නොවෙයි. මීට පෙර 2016 වසරේදී Jr NTRගේ Nannaku Prematho සිනමාපටයේ දෙබස් රචකයා වශයෙන් Buchi Babu Sana කටයුතු කළ අතර ඒ චිත්‍රපටයේ දෙබස් ගැන පැසසුම් සහගත ප්‍රතිචාරයකුත් විචාරකයින්ගෙන් ලැබුනා.
Nannaku Prematho චිත්‍රපටයෙන් පසුව ඔවුන් දෙදෙනා එක්ව නිර්මාණය කරන දෙවන චිත්‍රපටය වන මෙය නම් කර තිබෙන්නේ “Pedhi” යනුවෙනුයි. තවමත් මෙහි නිල නිවේදනයක් නිකුත් කර නැතත් චිත්‍රපටයේ රූපගත කිරීම් අරඹන්නට සියලුම වැඩ කටයුතු සිදුවෙමින් පවතින බවත් සඳහන්! එළඹෙන අප්‍රියෙල් 11 වනදා Pedhi හි පළමු නිල නිවේදනය මුදා හරින්නටත් නිෂ්පාදකයින් සූදානම් බවයි තතු දන්නෝ පවසන්නේ…

Pushpa : The Rise හි සාර්ථකත්වයෙන් පසුව Mythri Movie Makers බැනරය යටතේ නිපදවෙන අලුත්ම චිත්‍රපටය වන මෙය Naveen Yerneniගේ නිෂ්පාදනයකි. Buchi Babu Sanaගේ පළමු නිර්මාණය වූ Uppena නිෂ්පාදනය කළ සමාගමෙන්ම ඔහුගේ දෙවන චිත්‍රපටය නිෂ්පාදනයටත් පිරිවැය දරන්නට සූදානම් වීමෙන් තේරුම් යන්නේ Mythri Movie Makers ආයතනය, Buchi Babu කෙරෙහි තබා තිබෙන විශ්වාසයයි.

පැවසෙන අන්දමට මෙම නව නිර්මාණය අතීත ගම්මානයක් පසුබිම් කරගත් sports ශානරයේ චිත්‍රපටයක් විය හැකියි. තෙළංගානා සිනමාවට සම්බන්ධ ප්‍රධාන වෙබ් අඩවිවල වාර්තා කර තිබෙන පරිදි Pedhi තිරපිටපත රචනා වී තිබෙන්නේ කබඩි ක්‍රීඩාව පාදක කරගෙනයි. Jr NTR රඟන ප්‍රධාන චරිතය සාම්ප්‍රදායික කබඩි ක්‍රීඩකයෙකු විය හැකි බවටයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.
Buchi Babu Sana විසින් ඔහු මීට පෙර උත්සාහ නොකළ කාලතරණ සංකල්පයකුත් Pedhi සිනමාපටයට ඇතුල් කිරීමට උත්සාහ ගන්නා බවකුත් ඇතැම් ගොසිප් මාධ්‍ය තුළ පවසා තිබුණත් ඒ බව කිසිසේත්ම තහවුරු වී නැහැ.

බොහෝ දුරට, 2022 මැද භාගයේදී මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹීමට නියමිතව තිබෙනවා.

වෙනත් අධ්‍යක්ෂකවරයෙකු යටතේ Jr NTR රඟපෑමට නියමිත තවත් සිනමාපටයක් පිළිබඳවත් රසිකයින් අතරේ කතාබහ ඇතිවී තිබෙනවා. ඒ Acharya අධ්‍යක්ෂක Koratala Shiva සමඟයි. ජනප්‍රිය තෙළිඟු අධ්‍යක්ෂක Trivikram Srinivas යටතේ Jr NTR සම්බන්ධ වන නිර්මාණයක් ගැනත් ඉඟි පළවුනත් ඒ සාකච්ඡා තවම නිෂ්පාදන මට්ටමට පැමිණ නැහැ.

ඒ අතරේදී, Jr NTR මෙතෙක් රඟපෑ අති – දැවැන්තම චිත්‍රපටය වන RRR එළඹෙන මාර්තු 25 වනදා (හෙට) සිට ලෝ පුරා රටවල් ගණනාවකදී තිරගත වීමට නියමිතයි.

Share

91 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.