ක්ෂීර සාගරය කැළඹිණ – දෙරණ Lux සිනමා සම්මාන 2024
09වන දෙරණ Lux සිනමා උළෙලෙ හි තෝරාගත් චිත්‍රපට අතුරින්, මේ වනවිටත් සිනමා රසිකයින්ගේ අවධානය නිතැතින්ම ලැබුනු ජනප්‍රිය සිනමාපටයක් ලෙසට ක්ෂීර සාගරය කැළඹිණ හඳුන්වන්නට පුලුවන්.
ජැක්සන් ඇන්තනි, හේමාල් රණසිංහ සමඟින් උදාරි වර්ණකුලසූරිය ප්‍රධාන චරිත රඟන ක්ෂීර සාගරය කැළඹිණ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයි.
මෙරට සිටි විශිෂ්ට ගත් කතුවරයෙකු වන සයිමන් නවගත්තේගම රචිත “ක්ෂීර සාගරය කැළඹිණ” නැමැති නවකතාව අනුසාරයෙන් මෙහි තිර පිටපත රචනා කොට තිබෙන නමුත්, චිත්‍රපටය සහ නවකතාව අතරෙ හි සැලකිය යුතු වෙනස්කම් කිහිපයක්ම තිබෙන බවත් පැවසෙනවා. මෙහි දර්ශන බහුතරයක් රූගත කළේ රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මාන පරිශ්‍රය ආශ්‍රිතවයි.
සයිමන් නවගත්තේගමයන් රචනා කළ “ක්ෂීර සාගරය කැළඹිණ” ග්‍රන්ථයේ සඳහන් වන පරිදි තම අධිරාජ්‍යයට විරුද්ධව කැරලි ගසන එම අධිරාජ්‍යයාගේම කතා පුවත මෙම සිනමාපටය හරහා ත් ප්‍රේක්ෂකයින්ට රස විඳීමට හැකියාව තිබෙනවා. නමුත් නිර්මාණයේ ගුණාත්මකබව සහ කතා රසය සඳහා ඇතැම් සිද්ධීන් කිහිපයක් අලුතෙන් ප්‍රතිනිර්මාණය කළ බවයි අන්තර්ජාලයේ සඳහන් වන්නේ…
ප්‍රධාන චරිත වශයෙන් මෙම සිනමාපටයේ දක්නට ලැබෙන්නේ ද, සයිමන් නවගත්තේගම රචිත නවකතාවේ සඳහන් වන අධිරාජ්‍යයා – කැරලිකාර නායකයා – පුරම්භිකාව යන භූමිකා ත්‍රිත්වයමයි.
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි විසින් අධිරාජ්‍යයාගේ චරිතයත්, තරුණ නලු හේමාල් රණසිංහ විසින් කැරලිකාර නායකයාගේ චරිතයත්, රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරිය විසින් පුරම්භිකාවගේ චරිතයත් නිරූපණය කරනවා.
උදාරි වර්ණකුලසූරිය – ජැක්සන් ඇන්තනි එකම සිනමාපටයක රඟපාන්නේ පළමු වතාවටයි.
ජනප්‍රිය රූපවාහිනී නලු රවීන් කනිෂ්ක විසින් “හිරිමලා” නැමැති උපප්‍රධාන චරිතයක් රඟ දක්වන අතර මෙය ඔහු රංගනයෙන් එක්වූ පළමු දිගු වෘතාන්ත සිනමාපටයයි.
ඊට අමතරව සරත් කොතලාවල, ලූෂන් බුලත්සිංහල, රුවන් පෙරේරා, කළණ ගුණසේකර, ගිහාන් ප්‍රනාන්දු, පියංකා සමරවීර සහ හරිනි කාව්‍යාංජනී වැනි දක්ෂ නලු නිලි පිරිසක් “ක්ෂීර සාගරය කැළඹිණ” හි සෙසු චරිතවලට රංගනයෙන් එක්වනවා.
මෙහි කැමරා අධ්‍යක්ෂණය හසුරුවන්නේ චන්න දේශප්‍රිය විසිනුයි. හෝ ගානා පොකුණ, අසන්ධිමිත්තා, නිම්නයක හුදෙකලාව, ඇඩ්‍රස් නැහැ වැනි සිනමාපට 30කට අධික ප්‍රමාණයක කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර තිබෙන ඔහු මින් පෙර අවස්ථා කිහිපයකදීම මහාචාර්ය සුනිල් ආරියරත්න සමඟින් නිර්මාණකරණයේ යෙදී තිබෙනවා.
සුනිල් ආරියරත්න පෙරදී අධ්‍යක්ෂණය කළ කුසපබා – පත්තිනි – අලි කතාව – බිම්බාදේවි හෙවත් යශෝදරා – වියජබා කොල්ලය යන චිත්‍රපට සියල්ලටම කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය සම්බන්ධ වූ අතර මෙය ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් බිහිවන සයවන සිනමා නිර්මාණයයි.
ක්ෂීර සාගරය කැළඹිණ සිනමාපටයේ දෙබස් සහ තිර පිටපත රචනා කොට තිබෙන්නේ ද ‘අධිරාජ්‍යයාගේ’ ප්‍රධාන චරිතයට රංගන දායකත්වය ලබා දෙන ජැක්සන් ඇන්තනි විසිනුයි. මෙරට සිටින ප්‍රවීණම සංගීතවේදියෙකු වන ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීතයෙන් හැඩ වන මෙහි ගීත ගායනය සඳහා විශාරද නන්දා මාලිනී එක්ව තිබෙනවා. සංස්කරණය අජිත් රාමනායකයි.
කලා අධ්‍යක්ෂකවරයා ධමිම්ක හේවාදුත්තයි. සටන් දර්ශන ඔසඳ සමන් බණ්ඩාර විසින් සැලසුම් කර තිබෙන අතර වස්ත්‍ර නිර්මාණය වෙනුක වික්‍රමාරච්චියි. අංග රචනය ප්‍රියන්ත දිසානායකගෙනි; නර්තන වින්‍යාසය කපිල පළිහවඩනගෙනි; සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රියගෙනි.
නිෂ්පාදන කළමනාකරු වශයෙන් එක්ව සිටින්නේ නිමල් විජේසිරි සේනාධීරයි. ඒ ඩී රංජිත් කුමාර යටතේ නිෂ්පාදන අධීක්ෂණය සිදුව තිබෙනවා.
“ක්ෂීර සාගරය කැළඹිණ” චිත්‍රපටයේ නිෂ්පාදනය සරසවි සිනෙරු (Sarasavi Cineru) වෙනුවෙන් එච් ඩී ප්‍රේමසිරි විසිනි. ද නිවුස්පේපර්, ඇල්බොරාදා, තණ්හා රතී රඟා, ගාඩි, ආකාස කුසුම්, සක්කාරං වැනි සම්මානිත චිත්‍රපට ගණනාවකම නිෂ්පාදකවරයා වන්නේ ඔහුයි.
එච් ඩී ප්‍රේමසිරිට අමතරව කුමුදිනී ඩයස් හපුතන්ත්‍රී, චන්දු හපුතන්ත්‍රී සහ චාන්ද්‍රි හපුතන්ත්‍රි මෙහි සම – නිෂ්පාදකවරුන් ලෙස කටයුතු කරනවා.
ක්ෂීර සාගරය කැළඹිණ චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.
මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!
එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…
මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නරඹන්නට පුලුවන්.
09වන දෙරණ LUX සිනමා උළෙලෙ හි ජයග්‍රාහී සිනමාපටවලට සම්මාන ලබා දෙන අති – උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය එළඹෙන නොවැම්බර් 10 වනදා TV දෙරණ ඔස්සේ සජීවීව නැරඹිය හැකියි.
Written by Kavinu Weerakkody