ගලගෙදරගේ බයිස්කෝප් කතා: සූරයන් අතර වීරයා (1993)

Avatar Kavinu Weerakkody | February 12, 2022 287 Views 0 Likes 0 Ratings

287 Views 0 Ratings Rate it

පැරණි සිංහල සිනමාව සහ ලාංකීය චිත්‍රපට පිළිබඳව රසවත් කතාබහ සිදු කෙරෙන ගලගෙදරගේ බයිස්කෝප් කතා විශේෂාංගය මෙවර වෙන් වන්නේ රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ, 1993 වසරේ තිරගත වුනු, සූරයන් අතර වීරයා චිත්‍රපටය වෙනුවෙනුයි.

තිරගත කළ දිනය – 1993.05.28
789වන චිත්‍රපටය
අධ්‍යක්ෂණය – රෝයි ද සිල්වා
නිෂ්පාදනය – පද්මසිරි කොඩිකාර

බයිස්කෝප් කතා තුළින් ජයන්ත ගලගෙදර අද ඉදිරිපත් කරන්නේ යම් තරමකට දුක්මුසු කතාවක්. සූරයන් අතර වීරයා බොහොම හොඳින් තිරගත වුණු සාර්ථක චිත්‍රපටයක් වුණත් ඒ චිත්‍රපටය පිටුපස තියෙන මේ කතාව ලාංකීය සිනමාවට සිදු වුණු දැවැන්ත අහිමිවීමක් ගැන සාකච්ඡා කරනවා.

සූරයන් අතර වීරයා චිත්‍රපටය නිෂ්පාදනය කරන පද්මසිරි කොඩිකාර මෙරට චිත්‍රපට ගණනාවක් නිර්මාණය කළ ප්‍රවීණ නිෂ්පාදකවරයෙක්. ලාංකීය සිනමාවේ දැවැන්ත පෞරුෂයක් වුණු විජය කුමාරතුංගට බොහොම සමීප පුද්ගලයෙක් විදිහට තමයි ඔහුව එකල හැඳින්වුණේ. ඒ නිසාම මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා තෝරාගෙන තිබෙන්නේත් විජය කුමාරතුංගවයි.

විජය කුමාරතුංගට අමතරව ක්ලීටස් මෙන්ඩිස්, ලයනල් දැරණියගල, ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ, මානෙල් චන්ද්‍රලතා, ෆීලික්ස් ප්‍රේමවර්ධන, සමන් ජයලත්, ටිරෝන් මයිකල්, විජය විජේසේකර, සරත් කොරුවන්ගේ, ශ්‍රීනාත් මල්දෙණිය, ලිලියන් එදිරිසිංහ වැනි විශාල රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක් මෙහ රංගනයේ යෙදෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතයට සම්බන්ධ වී සිටින්නේ එකල සිටි ජනප්‍රියම රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරා යි.

විජය කුමාරතුංග සූරයන් අතර වීරයා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවීම නිසා සුපුරුදු පරිදි මෙහි ගීත ගායනය සඳහා තෝරාගෙන තිබෙන්නේ එච්. ආර්. ජෝතිපාල මහතාවයි. නමුත් චිත්‍රපටය තිරගත කරන අවස්ථාව වන විට ඔවුන් දෙදෙනාම ජීවතුන් අතර සිට නැහැ. හෙළ සිනමාවේ පිරවිය නොහැකි අඩුවක් ඉතිරි කරමින් ඒ වනවිටත් ඔවුන් දෙදෙනාම අවසන් ගමන් ගොස් තිබුණා.

කෙසේ වුවත්, 1993 මැයි මාසයේදී තිරගත කිරීම අරඹන මේ සිනමාපටය අවසානයේදී දැවැන්ත ආදායමක් ලබා ගනිමින් වසරේ සාර්ථකම චිත්‍රපට ලැයිස්තුවට එකතු වීමටත් හැකියාව ලබාගෙන තිබෙනවා. 1994 වසරේ 22වන සරසවි සම්මාන උළෙලේදී ජනප්‍රියම චිත්‍රපටයට හිමි සම්මානය වෙනුවෙන් නිර්දේශ වූ මෙය 10වන ජනාධිපති සම්මාන උළෙලේදීත් සම්මානයට පාත්‍ර වුනා.

චිත්‍රපටයේ කතාව, දෙබස් සහ තිර පිටපත රචනා කර තිබෙන්නේ ද නිෂ්පාදක පද්මසිරි කොඩිකාර විසිනි. සෝමපාල රත්නායකගේ සංගීතයෙන් හැඩ වූ මෙහි සිනෙමාරූපනය එම්. ඒ. ගෆූර් විසින් සිදු කර තිබෙනවා. සටන් අධ්‍යක්ෂණයෙන් එක් වී තිබෙන්නේ ටෙඩී විද්‍යාලංකාරයි. නිශ්චල ඡායාරූප එඩ්වින් බටුවත්තගෙනි.

නිෂ්පාදන සහයෙන් රෝහණ සිසිර කුමාර සම්බන්ධ වූ සූරයන් අතර වීරයා චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළේ ඩබ්. සෙල්වරාජ් විසිනුයි. අංග රචනය ලක්ෂ්මන් පෙරේරායි. නිෂ්පාදන කළමනාකාරණය සිදුව ඇත්තේ යූ. එස්. හමීඩ් මහතා හරහායි.  නාමාවලි නිර්මාණය සිරිනාථ වික්‍රමසිංහ විසිනි.

Share

287 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.