දුල්කර් සල්මන් – ඉන්දියානු සිනමාවේ අනාගතය ද?

Avatar Kavinu Weerakkody | December 7, 2023 128 Views 0 Likes 0 Ratings

128 Views 0 Ratings Rate it

මලයාලම් සිනමාවේ අද දවසේ සිටින දැවැන්තම සිනමා තාරකා ද්විත්වය Big M’s හෙවත් Mohanlal සහ Mammootty දෙදෙනා බව ඕනෑම රසිකයෙක් පිළි ගන්නා කාරණයක්. කොතෙක් නම් නලු නිළියන් මලයාලම් චිත්‍රපට කර්මාන්තයට පැමිණියත්, ඒ සියලු දෙනාවම අභිබවමින් දැන් දශක 5-6ක පමණ කාලයක් තිස්සේ මලයාලම් සිනමාවේ දැවැන්තම බලකණු ලෙසින් තවමත් ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ Mohanlal සහ Mammootty දෙදෙනායි.

ඔවුන් දෙදෙනාම මේ වනවිට චිත්‍රපට 400කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් එක්ව තිබෙනවා වගේම; ඉන්දියානු සිනමාවෙන් බිහි වූ අග්‍රගණ්‍යම රංගන ශිල්පීන් දෙදෙනෙකු ලෙසින් ගෞරවාරදයට පත් වී සිටිනවා. නමුත් මොවුන් දෙදෙනා පිටුපසින් මේ වනවිට දක්ෂ සහ තරුණ මලයාලම් රංගන ශිල්පීන් ගණනාවක්ම කේරළ චිත්‍රපට ක්ෂේත්‍රය තුළ අද දවසේදී දැකගන්නට පුලුවන්.

ෆහද් ෆසිල් – නිවින් පෝලි – ප්‍රනව් මෝහන්ලාල් – අජු වර්ගීස් – ප්‍රිත්විරාජ් සුකුමාරන් – ශේන් නිගම් – ඇන්ටනි වර්ගීස් – ටොවිනෝ තෝමස් වැනි රංගන ශිල්පීන් එලෙස වර්තමාන මලයාලම් සිනමාව තුළ උපරිම ජනප්‍රියත්වයට පැමිණ තිබෙන තරුණ රංගන ශිල්පීන්.

දුල්කර් සල්මන් (Dulquer Salmaan) හෙවත් DQ නමින් හැඳින්වෙන්නේ ද ඒ ආකාරයෙන්ම කේරළ සිනමාව තුළ සිය ස්ථාවරත්වය තහවුරු කරගත්, තරුණ පරපුරේ ජනප්‍රියම රංගන ශිල්පියෙක්. 2012 වසරේදී Second Show චිත්‍රපටයෙන් රංගනයට පිවිසෙන ඔහු Bangalore Days, Charlie, Parava, Solo, Vikramadithyan වැනි නිර්මාණ හරහා මලයාලම් රසිකයින්ට අමතක නොවන චරිත ගණනාවක් නිරූපණය කළා.

මේ වනවිට ඔහුගේ ජනප්‍රියත්වය මලයාලම් සිනමාවට පමණක් සීමා නොවී; සෙසු ප්‍රාන්තවලටත් පැතිර තිබෙන්නේ එම කලාප තුළත් දුල්කර් සල්මන්ගේ සිනමාපට නරඹන දැවැන්ත ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කරමින්… අද වනවිට ඔහු ප්‍රධාන චරිත රඟපාන්නේ මලයාලම් සිනමාව තුළ පමණක් නොවෙයි.
හින්දි – තෙළිඟු සහ දමිළ චිත්‍රපට කර්මාන්ත තුළ පවා දුල්කර් සල්මන් ප්‍රධාන රංගනයෙන් දායක වූ චිත්‍රපට ගණනාවක් තිරගත වුනු අතර ඒ සියල්ලම ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ආදායම් වාර්තාවලිනුත් සාර්ථකත්වයට පත්වුනා.

දුල්කර් සල්මන් රඟපෑ පළමු දමිළ චිත්‍රපටය තිරගත වුනේ 2014 වසරේදී යි. Vaayai Moodi Pesavum නමින් හැඳින්වූ එම චිත්‍රපටයෙන් තමිල්නාඩුව තුළ එතරම් අවධානයක් දිනාගන්නට ඔහුට නොහැකි වුවත් සිය දෙවන දමිළ චිත්‍රපටය වූ O Kadhal Kanmani (2015) හරහා සැලකිය යුතු මට්ටමේ දමිළ රසිකයින් පිරිසක් දුල්කර් වටා රොක්වූවා.
විශේෂත්වයක් වන්නේ O Kadhal Kanmani (2015) හි අධ්‍යක්ෂකවරයා වන්නේ අග්‍රගණ්‍ය ඉන්දීය සිනමාකරුවෙකු වන මනි රත්නම් වීමයි. මනි රත්නම්ගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට තේරී පත්වීම දමිළ ජාතික රංගන ශිල්පියෙකුට පවා පහසුවෙන් ලැබෙන අවස්ථාවක් නොවෙයි.

කෙසේ හෝ දුල්කර්ට එම අවස්ථාව ලැබුනු අතර තමන්ට හිමි වුනු අවස්ථාව නිසි ආකාරයෙන් භාවිතා කරන්නටත් ඔහු පසුබට වූයේ නැහැ. O Kadhal Kanmani (2015) තුළ දුල්කර්ගේ රංගනය බොහෝ දෙනෙකුගේ ඇගයුමට ලක් වුනා.

ඉන්පසුව 2020 වසරේදී තිරගත වූ Kannum Kannum Kollaiyadithaal සිනමාපටය සහ 2022 වසරේදී තිරගත වූ Hey Sinamika සිනමාපටය දුල්කර් සල්මන් රංගනයෙන් එක් වුනු තවත් දකුණු ඉන්දීය – දමිළ නිර්මාණයි.

මලයාලම් සිනමාවෙන් එපිට දමිළ සිනමාව තුළ පමණක් නොවෙයි; තෙළංගානා ප්‍රාන්තය මුල් කරගෙන බිහිවූ තෙළිඟු සිනමාව තුළත් දුල්කර් සල්මන් සෑහෙන ජනප්‍රිය රංගන ශිල්පියෙක්. දුල්කර් පළමු වරට රංගනයෙන් එක්වූ තෙළිඟු චිත්‍රපටය වන Mahanati, “වසරේ හොඳම තෙළිඟු සිනමාපටයට හිමි ඉන්දීය ජාතික සම්මානයෙන්” පවා පිදුම් ලැබුවා. ඒ 2018 වසරේදී යි. Mahanati තෙළිඟු සිනමාපටයේ ප්‍රධානතම චරිත කිහිපයෙන් එකක් රඟපෑමට ඔහුට එහිදී අවස්ථාව ලැබුනු අතර චිත්‍රපටයේ අනෙකුත් නලු නිළියන්ට වඩා එහිදි දුල්කර්ගේ රංගනය නිතැතින්ම කැපී පෙනුනු බවයි රසිකයින් පවා පවසන්නේ…

නමුත් Mahanati චිත්‍රපටයටත් වඩා දුල්කර්ව තෙළිඟු සිනමා රසිකයින් අතරෙ හි ජනප්‍රිය වූයේ පසුගිය වසරේදී තිරගත වූ Sita Ramam චිත්‍රපටයෙන් පසුවයි. තෙළිඟු සිනමාවට ආගන්තුක දුල්කර් වැනි නලුවෙක් ප්‍රධාන රංගනයෙන් සම්බන්ධ වුවත්, Sita Ramam චිත්‍රපටය ඉන්දීය කෝටි 100කට අතිශය ආසන්න බොක්ස්-ඔෆිස් ආදායමක් රැස් කරගත්තා. එහි රඟපෑ Dulquer සහ Mrunal Thakur දෙපළ මේ වනවිට සමස්ත ඉන්දියාව පුරාම ජනප්‍රිය බව නොරහසක්.
Sita Ramam තෙළිඟු සිනමාපටය ඒ තරමටම ඉන්දියානු සිනමා රසිකයින්ට සමීප වුනා.

මලයාලම් – තෙළිඟු – දමිළ වැනි දකුණු ඉන්දියානු චිත්‍රපට වගේම, 2018 වසරේ සිට උතුරු ඉන්දියානු බොලිවුඩ් සිනමාවටත් ඔහු සක්‍රීයව සම්බන්ධ වෙමින් සිටිනවා. මේ වනවිට දුල්කර් සම්බන්ධ වූ හින්දි නිර්මාණ සංඛ්‍යාව 04ක්. හින්දි චිත්‍රපට ත්‍රිත්වයක් සහ වෙබ් කතාමාලාවක ප්‍රධාන චරිතයක් ඒ අතරෙ හි තිබෙනවා.

දුල්කර් සල්මන් පළමු වරට හින්දි සිනමාවට පිවිසෙන්නේ 2018 වසරේදී “Karwaan” තුළිනුයි. දැනට වසර කිහිපයකට පෙර අප අතරින් සමුගත්, ඉන්දීය සිනමාවේ සිටි විශිෂ්ටතම චරිතාංග නලුවෙකු වූ Irfan Khan සමඟ රඟපෑ Karwaan සිනමාපටය, feel good ශානරයේ බොහොම සැහැල්ලු සහ සාමකාමී නිර්මාණයක්.

Karwaanට පසුව ඔහු සම්බන්ධ වුනේ වන්නේ අභිෂේක් ශර්මා අධ්‍යක්ෂණය කළ The Zoya Factor (2019) නැමැති හින්දි සිනමාපටයටයි. දුල්කර් සල්මන් සමඟින් බොලිවුඩයේ සිටින ජනප්‍රිය නිළියක වන Sonam Kapoor එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ අතර The Zoya Factor චිත්‍රපටයට පාදක වූයේ අනුජා චොහාන් නැමැති ඉන්දීය ලේඛිකාව විසින් රචනා කරන ලද අතිශය ප්‍රසිද්ධ නව කතාවකුයි. දුලකර් එහි රඟපෑවේ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකයාගේ චරිතයයි.

2022 වසරේදී ඔහු රඟපෑ තුන්වන බොලිවුඩ් සිනමාපටය, Chup: Revenge of the Artist තිරගත වුනු අතර සුපුරුදු පරිදිම දුල්කර්ගේ රංගනය බොහෝ විචාරකයින්ගේ ඇගයුමට ලක්වුනා. Chup: Revenge of the Artist සිනමාපටය තුළ සියලු දෙයටම වැඩියෙන් කැපී පෙනුනේ දුල්කර්ගේ දක්ෂ – චරිතාංග රංගනය බවයි ඔවුන් බොහෝ දෙනෙක් පැවසූවේ. වාණිජ ධාරාවේ හින්දි සිනමාවෙන් බැහැර වුනු වෙනස්ම කතා තේමාවක් ඔස්සේ ගලා යන සිනමාපටයක් වුවත්, සැලකිය යුතු අන්දමේ රසික ආකර්ෂණයක් Chup සිනමාපටයට ලැබුනා.
ඔහු අවසානයට රංගන දායකත්වය ලබා දුන් Guns & Gulaabs හින්දි වෙබ් කතාමාලාවත් දැන් Netflix ඔස්සේ නැරඹිය හැකියි.

වර්තමානය වනවිට, මේ අයුරින් මලයාලම් – දමිළ – තෙළිඟු – හින්දි යන ප්‍රාන්තීය සිනමා කර්මාන්ත සියල්ල තුළම ජනප්‍රිය ධාරාවේ නලුවෙකු වන්නට Dulquer Salmaanට හැකියාව ලැබී තිබෙනවා. කේරළයෙන් පිටත වැඩිම රසිකයින් පිරිසක් සිටින මලයාලම් නලුවා ඔහු බව අද අවිවාදිතයි. කේරළයේ වෙනත් කිසිදු තරුණ රංගන ශිල්පියෙක්ට ඔහු තරමේ දැවැන්ත ප්‍රාන්තීය නිර්මාණවලට සම්බන්ධ වීමට අවස්ථාව හිමිවී නැහැ.

මෙපමණක් නොවෙයි, මේ වනවිට දුල්කර් සම්බන්ධ වන කේරළයෙන් එපිට තවත් දැවැන්ත සිනමාපට කිහිපයකම නිෂ්පාදන කටයුතු සිදුවනවා. ඒ අතුරින් චිත්‍රපට දෙකක රූපගත කිරීම් නුදුරු මාසයකදී ඇරඹීමට නියමිතයි.

එයින් පළමු නිර්මාණය වන්නේ “Kaantha”නැමැති දමිළ – තෙළිඟු ද්වීභාෂා සිනමාපටයයි. දමිළ සහ තෙළිඟු බාසා ද්විත්වයෙන්ම රූපගත කිරීම් සිදුවන මෙම Kaantha චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Selvamani Selvaraj විසිනුයි. චිත්‍රපටයේ කතා තේමාව ගැන වැඩි විස්තරයක් අණාවරණය වී නැතත්, මෙය gangster ශානරයට අයත් නිර්මාණයක් බවයි පැවසෙන්නේ. බොහෝ දුරට King of Kotha සිනමාපටයෙන් ප්‍රේක්ෂකයින් දුටු දුල්කර්ගේ- අඳුරු තද චරිතයක්, Kanthaa තුළින් ද දැකගත හැකි වේවි.

ප්‍රසිද්ධ තෙළිඟු නලු නිළියන් රැසක්ම මෙහි සහාය චරිත රඟපාන අතර චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ද තෙළිඟු සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන Rana Daggubati විසිනුයි. ඔහු සමඟින් දුල්කර්ගේ Wayfarer Films සිනමා ආයතනයත් මෙහි සම – නිෂ්පාදනයෙන් එක්වනවා.
“Kaantha” හි අධ්‍යක්ෂකවරයා වන Selvamani Selvaraj මීට පෙරත් සම්මානලාභී සිනමාපට කිහිපයකටම සම්බන්ධ වූ අයෙක්. ලෝකප්‍රසිද්ධ “Life of Pi” චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂක කණ්ඩායමේ ද සේවය කළ Selvamani Selvaraj, 2016 වසරේ තිරගත වූ Nila දමිළ චිත්‍රපටයේ පිටපත් රචකයායි.

බොහෝදුරට එළඹෙන මාසයේදී “Kaantha” චිත්‍රපටයේ රූපගත කිරීම් ඇරඹෙනු ඇති..!

Kaantha චිත්‍රපටයට සමගාමීව දුල්කර් සල්මන් ප්‍රධාන භූමිකාව නිරූපණය කරන තවත් නවතම නිර්මාණයක් වන්නේ “Lucky Baskhar” නැමැති තෙළිඟු චිත්‍රපටයයි. මෙහි පූර්ව නිෂ්පාදන කටයුතු සියල්ලම මේ වනවිට අවසන් වී තිබෙන අතර චිත්‍රපටයේ රූපගත කිරීම් දැනට සති කිහිපයකට පෙර ආරම්භ වුනා.

Tholi Prema – Mr Majnu – Range De වැනි තෙළිඟු සිනමාපට හරහා රසිකයින්ට සමීප වුනු Venki Atluri විසින් අධ්‍යක්ෂණය කරන මෙම සිනමාපටය දුල්කර්ගේ පෙර සිනමාපටවලට වඩා සහමුලින්ම වෙනස් නිර්මාණයක් බව හොඳින්ම පෙනෙන්නට තිබෙනවා.
Venki Atluri විසින් අවසානයට අධ්‍යක්ෂණය කළ Vaathi චිත්‍රපටයේ ප්‍රධාන චරිතය දමිල නලු ධනුෂ් විසින් නිරූපණය කළ අතර එය ඉන්දියානු කෝටි 100කට අධික BoxOffice ආදායමක් ලබමින් ධනුෂ්ගේ සිනමා ජීවිතයේ වැඩිම ආදායම්ලාභී සිනමාපටය බවටත් පත්වුනා.

Kaanta සහ Luck Baskhar චිත්‍රපට ද්විත්වයට අමතරව Sudha Kongara නැමැති අධ්‍යක්ෂිකාව විසින් නිර්මාණය කරන නවතම චිත්‍රපටයටත් දුල්කර් සම්බන්ධ වීමට නියමිතයි. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ වර්තමාන දමිළ සිනමාවේ සිටින දැවැන්ත නලුවෙකු වන සූරියා සිවකුමාර් විසිනුයි. වාර්තා වන පරිදි, දුල්කර් විසින් එම චිත්‍රපටයේ රඟපාන්නේ ප්‍රතිවීර චරිතයක්ලු. සූරියා මේ දිනවල Kanguva චිත්‍රපටයට සම්බන්ධ වී සිටිය අතර එහි රූපගත කිරීම් අවසන් වූ පසු මෙම චිත්‍රපටය ආරම්භ විය හැකියි. සූරියාගේ Soorarai Pottru අධ්‍යක්ෂණය කළේ ද Sudha Kongara විසිනුයි.

2015 වසරේදී O Kadhal Kanmani තුළින් අප දුටු දුල්කර් – මනි රත්නම් සුසංයෝගය, නුදුරේදීම නැවත වතාවක් නැරඹීමටත් රසිකයින්ට අවස්ථාව තිබෙනවා. ඒ මනිරත්නම් විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිතව තිබෙන අලුත්ම දමිළ සිනමාපටයේ ප්‍රධාන චරිතයක් සඳහාත් දුල්කර් සල්මන් ගිවිසුම්ගත වී තිබෙන නිසායි.

Nayakan (1987) – Mouna Ragam (1988) – Thapathy (1991) – Dil Se (1998) – Alai Payuthey (2001) වැනි සදාතනික සිනමා නිර්මාණ ගණනාවක් ඉන්දියානු සිනමාවට දායාද කළ, අග්‍රගණ්‍ය දමිළ සිනමාකරුවෙකු වන මනිරත්නම් නුදුරේදීම සිය 29වන චිත්‍රපටයේ වැඩ කටයුතු ඇරඹීමට නියමිතයි. ඒ දකුණු ඉන්දියානු සිනමාවේ තවත් පුරාවෘතයක් බඳු චරිතයක් වන කමල් හසන් සමඟින්…
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කමල් හසන් නිරූපණය කරන අතර සෙසු උපප්‍රධාන චරිත සඳහා Dulquer Salmaan, Jayam Ravi, Trisha වැනි ක්ෂේත්‍රයේ ජනප්‍රිය නලු නිලියන් රැසක්ම සම්බන්ධ වනවා.
නමුත් මෙම චිත්‍රපටයේ දුල්කර් රඟන චරිතය කුමක් ද යන්න තවමත් නිශ්චිතව වාර්තා වී නැහැ.

මීට අමතරව, මේ දිනල ඉන්දියාව පුරාම කතාබහට ලක්වී තිබෙන අතිශය දැවැන්ත Pan – Indian චිත්‍රපටයක් සමඟත් දුල්කර්ගේ නම ඈදෙමින්, ඔහු එහි රංගනයෙන් දායක වන බවට විවිධ ගොසිප් වාර්තා පළවනවා.
තෙළිඟු නලු Prabasගේ “Kalki 2898 AD” සිනමා නිර්මාණයයි.

මෙතෙක් ඉන්දීය සිනමා ඉතිහාසයේ වැඩිම මුදලක් දරා නිපදවෙන චිත්‍රපටය ලෙසට හැඳින්වෙන්නේ ඉන්දියානු කෝටි 600කට ආසන්න පිරිවැයකින් නිපදවෙන මෙම Kalki 2898 AD චිත්‍රපටයයි. තෙලිඟු නලු ප්‍රබාස් විසින් ප්‍රධාන භූමිකාව හොබවන මෙහි අමිතාබ් බච්චන් – කමල් හසන් – දීපිකා පදුකෝන් වැනි ජනප්‍රියම රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වනවා. 2019 වසරේදී නිෂ්පාදන කටයුතු ආරම්භ වූ මෙය අධ්‍යක්ෂණය කරන්නේ Nag Ashwin විසිනුයි.

දුල්කර් සල්මන්, මෙහි රංගන ශිල්පීන් සහ අධ්‍යක්ෂකවරයා සමඟ සිටින සමූහ ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා පුරාම කතාබහට ලක් වූ අතර ඔහු කිහිප වරක්ම මෙහි අධ්‍යක්ෂක Nag Ashwin සමඟින් සාකච්ඡා සිදු කළ බවත් සැමදෙනාම දන්නා කරුණක්.
මෙම හේතූන් නිසා දුල්කර් සල්මන් ද මෙම දැවැන්ත චිත්‍රපටයේ චරිතයක් නිරූපණය කිරීමට නියමිත බවයි බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ. නමුත් ඒ බව තවමත් නිල වශයෙන් තහවුරු වී නැහැ!

කෙසේ වුවත්, මලයාලම් නලුවෙකු වශයෙන් පියවරින් පියවර කේරළය පුරාම සිය ජනප්‍රියත්වය තහවුරු කරගත් දුල්කර් සල්මන්ගේ ගමන අද වනවිට කේරළ ප්‍රාන්තයට පමණක් සීමා වී නැහැ. මලයාලම් සිනමාව මෙන්ම හින්දි සිනමාව, දමිළ සිනමාව සහ තෙළිඟු සිනමාව තුළත් ඔහු දැන් ජනප්‍රිය රංගන ශිල්පියෙක්.
ඉදිරියේදී ඔහු රඟපෑමට නියමිතව තිබෙන මෙම දැවැන්ත චිත්‍රපට තිරගත වුනු පසු දුල්කර්ගේ එම රසික ජනප්‍රියත්වය තව තවත් ඉහළ යනු නොඅනුමානයි!

Share

128 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.