“පියාඹන්න ආයෙත්” – දැන් දිවයින පුරා සිනමාහල් වලදී…

Avatar Kavinu Weerakkody | September 12, 2022 578 Views 0 Likes 0 Ratings

578 Views 0 Ratings Rate it

ෂර්ලි සමරසිංහ අධ්‍යක්ෂණය කළ පියාඹන්න ආයෙත් (Fly Once More) සිංහල චිත්‍රපටය දිවයින පුරා සිනමා ශාලාවලදී දැන් තිරගත වනවා. පසුගිය සැප්තැම්බර් 08 වනදා සිට ප්‍රදර්ශනය ඇරඹි මෙය, මෙම මාසය තුළ තිරගත වෙන දෙවන ලාංකීය සිනමාපටයයි. සරල – සුන්දර ආදර කතාවක් වටා ගෙතෙන පියාඹන්න ආයෙත් සිනමාපටය Romance | Road Movie ශානරයට අයත් වන්නක්. මෙරට ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනෙකු වන කළණ ගුණසේකර සහ චමත්කා ලක්මිණි මෙහි ප්‍රධාන චරිත ද්විත්වය නිරූපණය කරනවා.

විදේශයක සිට සිය ප්‍රේමවන්තයා සොයාගෙන ලංකාවට පැමිණෙන තරුණියට ගුවන්තොටුපළේදී ‘නිලන්ත’ නැමැති මෙම කුලී රථ රියදුරා මුණ ගැසෙන අතර එතැන් සිට චිත්‍රපටය දිග හැරෙන්නේ ඔවුන් දෙදෙනා වටා යි.
පෙම්වතා සොයාගෙන ලංකාවට පැමිණෙන ඇයට සිය බලාපොරොත්තුව සඵල කර ගැනීමට නොහැකි වුනත්, නිලන්තගේ සහායෙන් ලංකාව පුරා සංචාරය කිරීමට අවසානයේදී ඇය තීරණය කරනවා. පියාඹන්න ආයෙත් (Fly Once More) චිත්‍රපටයට සම්පූර්ණයෙන්ම පාහේ පාදක වී තිබෙන්නේ ඔවුන් දෙදෙනාගේ මෙම චාරිකාවයි.

ඉතා සීමිත නළු නිළියන් පිරිසක් යොදාගෙන නිර්මාණය කර තිබෙන මෙහි කල්ප මුණසිංහ, මාක්ස් ප්‍රනාන්දු සහ පොකුරුමලී ප්‍රනාන්දු සෙසු චරිතවලට එක්ව තිබෙනවා.  ළමා චරිත නිරූපණය කරන්නේ සහන්සා දිහන්සි සහ පහන්දි නෙතාරායි.
කළණ ගුණසේකර ප්‍රධාන චරිත රඟපෑ සිනමාපට දෙකක් එක ළඟ තිරගත වීමත් විශේෂත්වයක් වනවා. පසුගිය ජූලි මාසයේදී ඔහු රංගනයෙන් එක්වූ Night Rider චිත්‍රපටය ද ප්‍රදර්ශනය ඇරඹි අතර දින 50 පසුකරමින් තවමත් එය සාර්ථකව තිරගත වනවා.

ෂර්ලි සමරසිංහගේ කුළුදුල් වෘතාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය වන්නේ ද මෙම ‘පියාඹන්න ආයෙත්’ (Fly Once More) සිනමා නිර්මාණයයි. වෘත්තියෙන් ජනමාධ්‍යවේදියෙකු සහ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙකු වන ඔහු මින් පෙර ළමා නාට්‍ය කිහිපයක් ද නිෂ්පාදනය කොට තිබෙනවා.

අධ්‍යක්ෂකවරයා පවසන පරිදි කෝවිඩ් ව්‍යසනයේ දෙවන රැල්ලෙන් පසුවයි මෙහි නිෂ්පාදන කටයුතු පටන් ගෙන තිබෙන්නේ. දින 9-10ක් පුරා නොනැවතී රූගත කිරීම් කරන්නට ඔවුන්ට සිදුව තිබෙන අතර ශ්‍රී ලංකාව පුරා පිහිටි දර්ශනතල සඳහා ඔවුන් ගමන් කළ දුර කිලෝමීටර 3500කට අධිකයි. ‘පියාඹන්න ආයෙත්’ Road Movie ශානරයට අයත් චිත්‍රපටයක් නිසාම දිවයින පුරා පිහිටි සුන්දර ප්‍රදේශ ගණනාවක් මෙයින් දැකගත හැකියි.
කතරගම, පොළොන්නරුව, යාපනය, නුවරඑළිය, බදුල්ල සහ කටුනායක ආදී නගර රාශියක මෙහි රූපගත කිරීම් සිදු කොට තිබෙනවා.

උදාර පල්ලියගුරු විසින් චිත්‍රපටයේ තිර පිටපත රචනා කොට තිබෙන අතර DCINEMA ආයතනය වෙනුවෙන් මෙහි නිෂ්පාදන පිරිවැය දරන්නේ ද ඔහුයි. චිත්‍රපටයේ කැමරාකරණය ගයාන් ගීතප්‍රිය විසිනුත්, සංස්කරණය නිරෝධ වීරංග විසිනුත් සිදු කොට තිබෙනවා. නිෂ්පාදන කළමනාකරු නිමේෂ් උදයන්තයි. සහාය අධ්‍යක්ෂණයෙන් ජානක සිසිර කුමාර සහ කලා අධ්‍යක්ෂණයෙන් සංජීව කරුණාරත්න එක්වී සිටිනවා. නිසල් ගමගේ සහ උදාර පල්ලියගුරුගේ ගීත රචනයෙන් මෙය හැඩ වී තිබෙනවා. චිත්‍රපටයේ සංගීත නිර්මාණය කර තිබෙන්නේ මෙරට ජනප්‍රිය සංගීතවේදීන් දෙදෙනෙකු වන රාජ් තිල්ලයියාපලම් – අමිත් ගුරු ඇතුළු පිරිසකගේ එකතුවෙන්…

පහත සබැඳිය ඔස්සේ ‘පියාඹන්න ආයෙත්’ (Fly Once More) හි නිළ පූර්ව ප්‍රචාරක පටය නැරඹිය හැකියි.

පසුගිය දිනවල අතිශය ජනප්‍රියත්වයට පත් වුනු, රිද්ම වීරවර්ධන ගායනා කරන “මාරුතේ” ගීතය ඇතුළත් වන්නේ ද මෙම චිත්‍රපටයේයි. එය සමඟින් තවත් ගීත 02ක් මෙහි දැකගත හැකි අතර ඒවා ගායනය කරන්නේ නිසල් ගමගේ සමඟින් සචිනි කටුවාවලයි.

පසුගිය සැප්තැම්බර් 08 වනදා සිට තිරගත වීම ඇරඹි පියාඹන්න ආයෙත් (Fly Once More) සිනමාපටය, දිවයින පුරා සිනමා හල් ගණනාවකදී දැන් නැරඹීමට හැකියාව තිබෙනවා.

 

Share

578 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.