මේ මොහොතේත් එකමුතු වෙන්නෙ නැති නම්, ඒ දේශද්‍රෝහීන්
ලෝකයටම බලපෑ ගෝලීය වසංගතයක් වුනු කොරෝනා වෛරසය හේතුවෙන් සමස්ථ රටම එකතැන ඇණහිටී මොහොතක්. ජන ජීවිත සියල්ල නතරවෙලා තියෙන මොහොතක්. හෙට දවසේ සිදුවන්නේ කුමක්ද කියන එක ගැන අවිනිශ්චිතව පසුවන මොහොතක්. රටක් විදිහට සියලුම ක්ෂේත්‍රයන් යම් පසුබෑමකට ලක්වෙලා තියෙන මොහොතක්. මේ මොහොතේ දැනෙන හැඟීම මොකක්ද කියල cinema.lk සමග කතාබහට එකතු වුනේ රංගන ශිල්පිනී නිරංජනී ශාම්මුගරාජා.
මේ මොහොතේ මම මගේ වෘත්තීය පැත්තකට තියල, සාමාන්‍ය ශ්‍රීලාංකික පුරවැසියෙක් විදිහට මගේ අදහස කියන්නම්. අපි බොහෝ දෙනෙක් දැන් අනිකාට උපදෙස් දෙමින් ඉන්නවා. තමනුත් ඒ දේවල් පිළිපදින්න උත්සාහ කරමින් ඉන්නවා. නමුත් ඒ අතරේම තවත් පිරිසක් මේ කිසිවක් නොසලකා තමන්ට කැමති විදිහට කටයුතු කරමින් ඉන්නවා. මේක හරිම කණගාටුදායක තත්වයක්. මේකෙන් හානි වෙන්නේ තමන්ට පමණක් නම්, ඒක ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ කැමැත්ත කියල නොසලකා හරින්න පුළුවන්. නමුත් මේ නොසැලකිලිමත් හැසිරීම් නිසා සමස්ථ රටටම හානියක් වෙන්න පුළුවන්. අන්න එතැනයි ගැටළුව තියෙන්නේ. මිනිස්සු මේ විදිහට අනිකාව නොසලකා හරින තැනකට වැටිලා තියෙන එක ගැන කණගාටුයි. මේ ගැටළුව විසඳගන්න නම් අපි රටක් විදිහට, ශ්‍රී ලාංකිකයින් විදිහට එකතු වෙන්න ඕන. අපි අතරේ මොන මොන විදිහේ බෙදීම් තිබුනත්, මේ ව්‍යසනයට මුහුණ දෙන්නේ මුළු රටම. එතකොට රටම එකට එකතු වෙලයි එක විසඳගන්නත් ඕනේ. නිකමට හිතන්න ජාතිවාදී ගැටුමක් වගේ දෙකදී නම්, තමන්ගේ වර්ගය වෙනුවෙන් එළියට බහින ඒ ආවේගය, ඒ හැඟීම කෝ දැන්..? ඒ හැඟීමෙන්ම රටක් විදිහට එකතු වෙලා වැඩ කරන්න බැරි ඇයි..? මේක ජාති ආගම් කුලබේද, උස් පහත්කම් අදාළ වන වෙලාවක් නෙමෙයි. රටවල් පාලනය කරන අගමැති වරුන්ගේ සිට අන්ත දුගී මිනිස්සු දක්වා මේ වෛරසයට ගොදුරු වුන ප්‍රවෘත්ති අපට ලෝකයෙන් ඇහෙනවා. ඒ නිසා, මේ තමයි අපි එකතු වෙන්න වෙලාව.
නිරෝධායනයට විරුද්ධ වුන මුස්ලිම් පුද්ගලයෙක්” කියල මාධ්‍ය වාර්තා කරපු එකක් මම දැක්කා. නිරෝධායනයට විරුද්ධ වෙලා ඒ මධ්‍යස්ථාන වලට යන්න බැහැ කියල මුලින්ම අරගල කලේ සිංහල පිරිසක්. ඒ වෙලාවේ “සිංහල අය” කියල වාර්තා කලේ නැහැ. එතකොට මොකක්ද මේ කරන්නෙ..? මොකක්ද මේවයින් බලාපොරොත්තු වෙන්නේ..? එකම ජාතියක් විදිහට එකතු වෙලා ඉන්න ඕන මොහොතකත් වර්ගවාදය අවුලුවන්න පුළුවන් තරම් පහත මානසික මට්ටමකට වැටිච්ච මිනිස්සු ඉන්න එක ගැන වේදනාවක් දැනෙනවා. මේ මොහොතේත් ජාතිවාදය සහ වර්ගවාදය අවුළුවමින් කටයුතු කරනවා නම්, අන්න ඒ අය තමයි සැබෑ දේශද්‍රෝහීන්. රටට ආදරය කරන මනුස්සයෙකුට එහෙම කරන්න බැහැ. ඒ නිසා හැමෝගෙන්ම ඉල්ලන්න තියෙන්නේ මේ මොහොතේ දේශද්‍රෝහියෙක් වෙන්න එපා, කරුණාකර එකතු වෙලා රටක් විදිහට මේ ව්‍යසනයෙන් ගැලවෙන්න උදවු කරන්න.
සොබාදහම කියන්නෙ හරි අපූරු දෙයක්. 2004 සුනාමි ව්‍යසනය ආවා. සිංහල දෙමළ, මුස්ලිම් උගත්, නූගත්, පොහොසත්, දුප්පත් මේ සියලුම වර්ගවල මිනිස්සු එක වතුර පාරකින් විනාශ කරලා දැම්මා. ඒ මොහොත රටක් විදිහට එකතු වෙලා නැගිටින්න අපට දුන්න අවස්ථාවක්. නමුත් අපි මොකද කලේ..? මාස දෙක තුනකින් ආපහු කෑලි කෑලි වලට බෙදිලා ගහමරා ගන්න පටන් ගත්තා. මේකද ශ්‍රී ලාංකික අනන්‍යතාව කියන්නෙ..? දැන් සොබාදහම ආපහු අපට විතරක් නෙවෙයි ලෝකයටම පාඩමක් කියාදෙනවා. ඔය මොන මොන තරාතිරමේ අය වුනත් ඒ හැමෝම ඉන්නෙ සොබාදහමට වඩා හුඟක් පහතින් බව. සොබාදහමේ නියාමනයට මේ හැමෝම යටත් බව. ඉතින් මේ සැරේවත් මේ පාඩම ඉගෙන නොගත්තොත්, අපිට ආපහු අවස්ථාවක් ලැබෙන එකක් නැහැ.
ඒ නිසා මට කියන්න තියෙන්නේ, අපි කවුරු වුනත්, අවසානයේ මේ ජෛව ගෝලයේ එක ජීවී කොටසක් විතරයි. මේ පෘතුවිය අපට අයිති එකක් නෙමෙයි. මේ මහපොලව අපට අයිති එකක් නෙමෙයි. අපි ඒකේ එක කොටසක් විතරයි. සොබාදහමට ගහකොළට සතා සිවුපවාට ආදරය කරන්න. අනිකාට ගෞරව කරන්න. පුළුවන් වෙලාවට අනිකාට උපකාර කරන්න. හැම වෙලාවේම positive දෙයක් අනිකාට දෙන්න. එතකොට අනිකාත් රැකෙයි. අපිත් රැකෙයි. එක්ව රකෙනවද, නැත්තන් වනසේනවද කියලත් තීරණය කරන්න ඕනේ අපි අපිමයි. ආත්මාර්ථකාමී වෙන්න එපා. මේ වෙලාවේ පුළුවන් විදිහට අනික් අය ගැනත් බලමු. උදවු කරමු. නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමු. එකමුතුව රටක් විදිහට එක හැඟීමකින් මේ ව්‍යසනයෙන් ගැලවෙන්න උත්සාහ කරමු.
Written by Nisanka Weheraduwa