යළි විවෘත වූ සිනමාහල් වල “කබඩි” සහ “කොළඹ”
කොරෝනා වසංගතය හේතුවෙන් බොහෝ ක්ෂේත්‍ර අඩාල වුනා කියන එක නොරහසක්. මේ තත්වය නිසා අපේ රටේ විනොදාස්වාදන කර්මාන්ත ක්ෂේත්‍රය ලොකු පසුබෑමකට ලක්වුනා. සිනමා ශාලා වගේම රංග ශාලාත් වසා දැමීම හේතුවෙන් ප්‍රේක්ෂකයින් තව තවත් මේ දෙකෙන්ම ඈත් වෙන්න පටන් ගත්තා. සෞඛ්‍ය අංශ උපදෙස් මත දිගු කලක් තිස්සේ වසාදමා තිබූ සිනමාහල් දැන් යළි විවෘත වී තිබෙනවා.
නිවැරදි සෞඛ්‍ය විධිවිධාන යටතේ සිනමාහලෙන් 25%ක ප්‍රමාණයක් ප්‍රවේශපත් අළෙවි කරමින් චිත්‍රපට තිරගත කිරීමට දැන් අවස්ථාව උදාවී තිබෙනවා. පසුගිය කාල වකවානුවේ නිෂ්පාදනය වූ චිත්‍රපට රැසක් පෝලිමේ තිබෙන බවත් සිනමා රසිකයින්ට නොරහසක්. කොහොම නමුත් මේ තත්වය යටතේත් විවෘත කෙරුණු සිනමාහල් වලට ප්‍රේක්ෂකයින් පැමිනේද යන්න ගැටළුවක් නිසා සිනමාකරුවන් යම් දෙගෙඩියාවකින් පසුවූ බවත් තොරතුරු දැනගන්නට ලැබුනා. කෙසේ වුවත් මේ අර්බුධය හමුවේ පියවරක් ඉදිරියට තබමින් චිත්‍රපට දෙකක් යළි තිරගත කිරීමට අධ්‍යක්ෂ වරුන් සහ නිෂ්පාදක වරුන් කටයුතු කොට තිබෙනවා.
හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ “කබඩි” චිත්‍රපටය ගැන මේ වෙනකොටත් සිනමා රසිකයින් හොඳින් දන්නවා. තෙලිඟු භාෂාවෙන් OKKADU නමින් මුලින්ම නිර්මාණය වූ චිත්‍රපටය පසුව GILLI නමින් ද්‍රවිඩ බසින් නිර්මාණය වනවා. මේ චිත්‍රපට වල සිංහල ප්‍රති නිර්මාණයක් විදිහට කබඩි චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. පසුගිය කාලයේ තිරගත වීම් ආරම්භ වුනත් කොරෝනා වසංගතය යළි හිස එසවීමත් සමගා සිනමාහල් වැසීයාම හේතුවෙන් චිත්‍රපටය අතරමග නතර වුනා. කොහොම නමුත් දැන් නැවත චිත්‍රපටය තිරගත වීම් ආරම්භ කොට තිබෙනවා. අමිල කරුණානායක, සෙනාලි ෆොන්සේකා, ශ්‍රියන්ත මෙන්ඩිස්, දර්ශන් ධර්මරාජ්, නිල්මිණි කෝට්ටගොඩ ඇතුළු පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.
අසම රන්දිල් ලියනගේ අධ්‍යක්ෂණය කළ “කොළඹ” චිත්‍රපටය පසුගිය මාර්තු මාසයේ තිරගතවීම් ආරම්භ වුනත් කොරෝනා වසංගතය නිසා ඒ චිත්‍රපටයටත් අත්වුනේ සුපුරුදු ඉරණමමයි. කොහොම වුනත් නැවත වරක් කොළඹ චිත්‍රපටයත් තිරගත වීම් ආරම්භ කොට තිබෙනවා. හේමාල් රණසිංහ,ධර්මප්‍රිය ඩයස්, රුක්මල් නිරෝෂ් ඇතුළු ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායක වන කොළඹ චිත්‍රපටය අනුෂ සංජීව එදිරිමුණි නිෂ්පාදනයක්. කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් සිනමා කර්මාන්තය වගේම සිනමාහල් හිමියනුත් අසීරු තත්වයකට පත්ව ඇති මොහොතක කොළඹ චිත්‍රපටයේ නිෂ්පාදක අනුෂ එදිරිමුණි ඒ වෙනුවෙනුත් ඉතා වැදගත් තීන්දුවක් ගෙන තිබෙන බවත් පැවසෙනවා. චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේදී අළෙවි කරන ප්‍රවේශපත් වල ආදායමෙන් නිෂ්පාදක වරයාට ලැබෙන 40% – 45%ත් අතර වන කොටසින් තවත් 7.5%ක ප්‍රමාණයක් සිනමාහල් හිමියා වෙත ලබාදීමට අනුෂ එදිරිමුණි කටයුතු කොට තිබෙනවා. මෙම තීන්දුව සිනමාහල් හිමියන්ගේ පාර්ශවයෙන් සිතාබලා මේ මොහොතේ ඔවුන්ට ශක්තියක් වීම පිණිස ගත් පියවරක් බව නිෂ්පාදක අනුෂ එදිරිමුණි වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
කෙසේ නමුත් යළි විවෘත කෙරුණු සිනමාහල් ඔබට “කබඩි” සහ “කොළඹ” චිත්‍රපට ද්විත්වයම නැරඹීමට අවස්ථාව ලැබෙනවා.
Written by Nisanka Weheraduwa